ඉඩකඩ නැති ගෙවත්තට මිටි ඇඹරැල්ලා කදිමයි
ඇඹරැල්ලා කී පමණින් ඔබ ගේ රස නහර පිනා යනු ඇත. ඇඹරැල්ලා අච්චාරු, ඇඹරැල්ලා ව්‍යාංජනය, ඇඹරැල්ලා චට්නි, ඇඹරැල්ලා සලාදය, ඇඹරැල්ලා දෝසි, ඇඹරැල්ලා ජෙලි, ඇඹරැල්ලා ජෑම් වැනි ඕනෑම ක්‍රමයකට ඇඹරැල්ලා කෑමට ගත හැකි ය.
අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට ගුණදායී කෑමක් වන ඇඹරැල්ලා ඔබේ ගෙවත්තේ එතරම් ඉඩකඩ නැති වුවත් ගසක් වගා කිරීමට හැකි ය.
හොඳින් ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක මාංශලය පොඩිකර හොඳින් සෝදා ඉවත් කර බීජය වෙන් කොට ගන්න. මේ බීජ කැප්ටාන් හෝ එවැනි දිලීර නාශක දියරයක ගිල්වා හෝ කැප්ටාන් කුඩු මිශ්‍ර කිරීමෙන්, තවානේ දී ඇති වන දිලීර රෝගවලින් ආරක්ෂා කර ගත හැකි වේ. අළුවල තවරා සිටුවීම ද සාර්ථක බව පෙනී ගොස් ඇත.
ඔබ සුළු පරිමාණයේ තවානක හිමිකරුවෙකු නම් කැප්ටාන් යෙදීම අත්‍යවශ්‍ය නොවේ. තරමක සෙවණ සහිත ස්ථානයක පිහිටුවන ලද වැලි තවානක් බීජ පැළ කිරීම සඳහා වඩාත් සුදුසු ය.
මේ තවාන අඟල් 7 - 8 ක් උසට වැලි අතුරා සකස් කර ගන්න. බීජ පැළවීම සඳහා වැලි තවානේ තෙතමනය පවත්වා ගෙන යා යුතු ය.
ඒ සඳහා ඔබ කළ යුත්තේ තෙත ගෝනියකින් තවාන වසා තැබීමයි. සති 4 – 6 ක් අතරතුරේ දී බීජ පැළ වේ. පැළ වී සති 6 - 9 ක දී මේ පැළ බඳුන් ගත කළ යුතු ය.
හොඳින් දිරූ කොම්පොස්ට් හෝ ගොම, මතුපිට පස් සහ වැලි 1 : 1 : 1 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පුරවා ගන්න. පැළ සිටුවීමෙන් පසු බඳුනට දමන ජලය අපතේ යාම වැළැක්වීම සඳහා බඳුන සම්පූර්ණයෙන් ම නොපුරවා අඟලක් දෙකක් ඉතුරු වන සේ මිශ්‍රණය පිරවිය යුතු ය.
ඇඹරැල්ලා බහු කලලතාව පෙන්නුම් කරන හෙයින් සමහර බීජවලින් පැළ 2 - 5 ක් පමණ හට ගැනීමට ඉඩ ඇත. එවැනි පැළ මූල පද්ධතියට හානි නොවන සේ පරෙස්සමෙන් වෙන් කර බඳුන් ගත කරන්න.
තනි වගාවක් ලෙස ද පේළි වශයෙන් ද සිටුවිය හැකි ය. මිටි ඇඹරැල්ලා විශේෂය පෝච්චිවල වුව ද සාර්ථකව වැඩේ. කුඩා ගෙවත්තක් අලංකාර කිරීමට එම වර්ගය වගා කළ හැකි ය.
ගසේ වර්ධනය ප්‍රමාණවත් ලෙස සිදු වී නැති නම් හා අතු බෙදී නැති නම් ගසේ අග්රස්ථ අංකුරයේ මල් හට ගනී. මේ නිසා ශාකය වර්ධනය දුර්වල වීමට ඉඩ ඇති හෙයින්, එම මල් කිනිත්ත ඉවත් කොට පළමුව ගස වර්ධනය වීමට ඉඩ සලස්වන්න.
මාස 2 - 3 කට වරක් හොඳින් දිරූ කොම්පෝස්ට් හෝ ගොම පොහොර යෙදීමෙන් හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබා ගත හැකි ය.
දිගු වියළි කාලයේ දී නියමිත අයුරින් ජලය සම්පාදනය නොකළහොත් ගස් දුර්වල වීමට සිදු වේ. වසුන් යෙදීමෙන් ශාකය අවට තෙතමනය ආරක්ෂා කර ගත හැකි ය.
සමහර විට ළපටි පත්‍ර හා මල් කිනිති හැළී වියළී යයි. අතු රිකිලි කෙළවර මැරී යයි. වියළී යන අතු රිකිලි කපා ඉවත් කරන්න.
පැළ කුඩා කාලයේ ළපටි පත්රවලට මයිටාවන් ගේ හානිය ඇති විය හැකි ය. එවිට ළපටි මිශ්‍ර පත්‍ර පහළට වකුටු වී කොඩ වී යයි. පත්‍රවල යටි පැත්තේ මයිටාවන් දැකිය හැකි ය.
දළු හට ගන්නා අවස්ථාවේ දී, පත්‍ර ආහාරයට ගන්නා දළඹුවා සමහර ප්‍රදේශවල දී දක්නට ලැබී ඇත. ළපටි පත්‍ර සියල්ල එකට ගොනු කිරීම හෝ වෙන් වෙන් ව පහළට ගොනු කිරීම දැකිය හැකි ය.
No comments:
Post a Comment