Thursday, January 8, 2015

පස් පරීක්ෂාවට සාම්පල ලබාගැනීම ඔබටම කළ හැකියි



පස් පරීක්ෂාවට සාම්පල ලබාගැනීම ඔබටම කළ

 

හැකියි


පස් පරීක්ෂා කර වගා කිරීමට බලාපොරොත්තු වන බෝගවලට යෙදිය යුතු පොහොර නිර්දේශ කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරයි.
එක් එක් බෝගයට අවශ්‍ය පෝෂක පදාර්ථ සහ එම පෝෂක අවශ්‍ය ප‍්‍රමාණයට සුදුසු කාලයේ දී ලබා දීමෙන් උපරිම අස්වැන්නක් ලබා ගත හැකියි.
අනවශ්‍ය ලෙස රසායනික පොහොර යෙදීමෙන් අනවශ්‍ය පෝෂක පසෙහි තැන්පත් වීම නිසා ඇති වන පාංශු රසායනික ගැටලු වළක්වා ගත හැකි වීමත්, පසෙහි ඇති පෝෂක අතර සමතුලිත භාවය රැක ගත හැකි වීමත්, ගොවීන් අමිශ‍්‍ර පොහොර භාවිතයට හුරු කරවීමත්, අධික පොහොර භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීමත් එම වැඩ පිළිවෙළේ අරමුණු වේ.
පස් සාම්පල ලබා ගැනීමේදී තම ප‍්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා ගේ සහය ලබා ගත හැකිය.
නැතිනම් එම ප‍්‍රදේශයට අදාළ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පස් පර්යේෂණ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ සේවය ලබා ගත හැකිය.
එසේත් නැතිනම් පහත අයුරින් පස් සාම්පලයක් ලබා ගැනීම කළ හැකි ය. පස් සාම්පලයක් ලබා ගැනීමේදී වගා කරනු ලබන මුළු ක්ෂේත‍්‍රයම නියෝජනය වන පරිදි සාම්පලයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
ප‍්‍රථමයෙන් එම ක්ෂේත‍්‍රයේ පාංශු විසමතාව, ජලවහනය බෑවුම් යනාදි කරුණු සලකා බලා අවශ්‍ය නම් වගා ක්ෂේත‍්‍රය කොටස්වලට වෙන් කර ඒ එක් එක් කොටස්වලින් අහඹු ලෙස මුළු භූමියම ඇතුළත් වන සේ පස් සාම්පල් ගත යුතුය. එක් කොටසකින් පස් සාම්පල 8 - 10 පමණ ගැනීම වැදගත් වේ.
පස් සාම්පල ගැනීමේදී අඟල් 7 ක් ගැඹුරට භූමිය හාරා පස් ලබා ගත යුතුය.
බෝගයක් වගා කිරීමට පෙර ක්ෂේත‍්‍රයේ පස් පරීක්ෂා කර ගත යුතුය. ක්ෂේත‍්‍රයේ බෝගයන් තිබෙන අවස්ථාවක පස් සාම්පල ගැනීමෙන් වැලකී සිටින්න. පස් සාම්පලයක් ලබා ගත් පසු හැකි ඉක්මනින් එම දිස්ති‍්‍රක්කයට අදාළ පාංශු පර්යේෂණ මධ්‍යස්ථානය වෙත විශ්ලේෂණ කටයුතු සඳහා භාර දිය යුතුය.


උපදෙස්
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ගොවිපොළ යාන්ති‍්‍රක උපදේශක
ඒ. එල්. ගුන්නෑපාන සහ පර්යේෂණ නිලධාරි
එස්. ජී. පියදාස
මාකඳුර ප‍්‍රාදේශීය කෘෂි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි
එච්.එල්. දයානන්ද

No comments:

Post a Comment