Wednesday, January 7, 2015

කූඩිත්තෝ පැළමැක්කෝ



කූඩිත්තෝ පැළමැක්කෝ යුෂ උරා බොනව වගේම

 

වෛරස් රෝගත් පතුරවනවා



සෞම්‍ය කලාපීය බෝගයක් වන මාළු මිරිස් ශී‍්‍ර ලංකාවේ සියලුම දේශගුණික කලාපවලට සුදුසු වේ. වසරේ ඕනෑම කාලයක වගා කළ හැකිය. ජල වහනය හොඳින් සිදුවන ගැඹුරු සාරවත් ලෝම පසක් යෝග්‍ය වේ. වගා කාලය වන්නේ යල කන්නයේ අපෙ‍්‍ර්ල් - මැයි සහ මහ කන්නයේ නොවැම්බර් - දෙසැම්බර් වේ. නිර්දේශිත ප‍්‍රභේද වන්නේ සීඒ 8, හන්ගේරියන් යෙලෝ වැක්ස්.
සීඒ 8 ප‍්‍රභේදයේ කරල් ළා කොළ පැහැති වන අතර රැලි සහිත දිළිසෙන පෘෂ්ඨයකින් යුක්ත වේ. කරලේ අග‍්‍රය අලි හොඩක් මෙන් ඇතුළට වක‍්‍ර වී ඇත. මනාලෙස නඩත්තු කරන වගාවක කරලක් අඟල් 6 ක් 7 ක් පමණ දිගකින් යුක්ත වේ.
හන්ගේරියන් යෙලෝ වැක්ස් ප‍්‍රභේදයේ කරල් කහ කොළ පැහැති වන අතර දිළිසෙන සුලු සුමට පෘෂ්ඨයකි. කේතු ආකාර හැඩැති පැල වේ. හොඳ වගාවක කරලක දිග අඟල් 6 - 7 ක් පමණ වේ. කරල උඩු අතට හට ගනී.
මේ ප‍්‍රභේදය බැක්ටීරියා හිටු මැරීමේ රෝගයට වැඩි වශයෙන් පාත‍්‍ර වන බැවින් පහතරට හා මැදරට තෙත් කලාපවලට යෝග්‍ය නොවේ. මාළු මිරිස් වගාව සඳහා රෝපණ ද්‍රව්‍ය ගැනීමේ දී බීජ වෙනම තවාන් කර ක්‍ෂෙත‍්‍රයේ සිටුවීම සඳහා පැළ ලබා ගනී.
පැළ ක්‍ෂෙත‍්‍රයේ සිටුවීමට මසකට පමණ පෙර තවාන් කටයුතු ආරම්භ කළ යුතුය. තවාන් පාත්ති හෝ බදුන් තවාන් මේ සඳහා ගත හැකිය. රෝග හා පළිබෝධ හානි අවම කර ගැනීම සඳහා සුදුසු ක‍්‍රමයකින් තවාන් ජීවානුහරණය කර ගැනීම වැදගත්ය.
දිලීර නාශයකින් බීජ ප‍්‍රතිකාර කළ යුතුය. සකසා ගත් තවාන් පාත්තියේ අඟල් 6 ක පමණ පරතරයකට පේළි දිගේ අඟලක් පමණ ගැඹුරට බීජ යොදා සියුම් පස් තට්ටුවකින් වැසිය යුතුය. පිරිසුදු වසුනක් යොදා ජල සම්පාදනය කළ යුතුය. බීජ තවාන් කර දින 5 - 6 දි වසුන ඉවත් කළ යුතු අතර දින 8 - 10 දි සියලුම බීජ ප‍්‍රරෝහණය වී අවසන් වේ. දින 21 ක් වූ පැළ ක්‍ෂෙත‍්‍රයේ සිටුවීම සුදුසුය.
පස පෙරළා කැට පොඩිකර ගත යුතුය. ජලවහන කානු යොදා පාත්ති හෝ ඇලි වැටි සකසා ගත යුතුය. කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම සුදුසුය. ඊට අමතරව පහත සඳහන් නිර්දේශිත රසායනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකිය.
වගාවේ මුල් කාලයේදී දින 4 - 5 වරක් ද පසුව සතියකට වරක් වන පරිදි ජල සම්පාදනය කළ යුතුය. පොහොර යෙදීමට පෙර හා පසුව ජලය යෙදිය යුතු අතර මල් පිපෙන අවස්ථාවේදී හා කරල් හට ගැනීමේදී ප‍්‍රමාණවත් පාංශු තෙතමනයක් පවත්වා ගත යුතුය.
පැළ සිටුවා සති 2, 4, 6 දි වල් පැළෑටි පාලනය කළ යුතුය.
පැළ සිටුවා දින 75 දී පළමු අස්වැන්න ලබාගත හැකිය. අස්වනු නෙලීම දින හතෙන් හතට හෝ පහෙන් පහට කළ හැකිය. වාර 7 - 10 පමණ අස්වනු නෙලිය හැකිය. අස්වැන්න නෙළීමේදී වර්ෂාව මග හැර වියළි තත්ත්ව යටතේ දී සිදුකළ යුතුය.
මාළු බීජ නිෂ්පාදනයේ දී සීඒ 8 යොදා ගන්නා අතර හංගේරියන් යෙලෝ වැක්ස් නොගනි. සීඒ 8 මැන්ටිරියා හිටුමැරීමේ රෝගයට ප‍්‍රතිරෝධි වන බැවින් එය සුදුසුය.
කරල ගසේම ඉදෙන්නට හැර, පසුව කරල පිටින්ම වියළා බීජ වෙන් කර ගන්න.
මාළු මිරිස් වගාවේ ප‍්‍රධාන රෝග කිහිපයක් තිබේ. දිය මලං කෑමේ රෝගය ප‍්‍රධාන රෝගයකි.
ළපටි පැලවල පාදස්ථය කුණු වී පැළය මැරී යයි. ජලවහන තත්ත්ව දියුණු කිරීම, නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කිරීම රෝගයට පිළියමය.
බැක්ටීරියා හිටුමැරීමේ රෝගයේදි පළමුව ශාකයේ අග‍්‍රස්ථ කොටස් මැළ වී පසු මුළු ශාකයම මැළවි මැරී යයි. මුල ආසන්න කඳ කොටස කපා ජල බදුනක තබා බැලූ විට බැක්ටීරියා උකු ස‍්‍රාවය සනාල කලාපවලින් වෑස්සීම දැකගත හැකිය.
පාලනය කිරීම සඳහා ප‍්‍රතිරෝධී ප‍්‍රභේද වගා කිරීම, ජලවහන තත්ත්ව දියුණු කිරීම, රෝගී ශාක පස් සමඟ ගලවා ඉවත් කිරීම, බෝග මාරුව, ශෂ්‍ය විද්‍යාත්මක ක‍්‍රම දියුණු කිරීම වැනි විකල්ප යෙදිය හැකිය.
ඇන්ත‍්‍රැක්හෝඩි රෝගය ද මාළු මිරිස් වගාවට හටගනී. ශාකයේ ඕනෑම කොටසකට වැලදිය හැකිය.
කරල්වල ගිලුණු දුඹුරු පුල්ලි ඇතිවී අවසානයේ දී කරලම කුණු වී යයි. රෝගය බීජ මගින් ව්‍යාප්ත වන බැවින් රෝගී ශාකවලින් ගත් බීජ සිටුවීමට නුසුදුසුය. මෙම රෝගය පාලනයට නිරෝගී බීජ භාවිතා කිරීම, බෝග මාරු කිරීම, හානිය උග‍්‍ර නම් නිර්දේශිත දිළීර නාශක භාවිතා කිරීම.
කූඩිත්තා, සුදුමැස්සා, පැළ මැස්සා, මයිටා යන කෘමින් යුෂ උරා බීම හේතුවෙන් පත‍්‍ර රැළි ගැසී විකෘතිවීම සිදුවේ. රෝගය පාලනයට රෝගි ශාකය ගලවා විනාශ කිරීම, රෝග වාකහකයන් සුදුසු කෘමිනාශකයක් යොදා විනාශ කිරීම, පත‍්‍ර ලප රෝගයේදී විවිධ දිලීර රෝග කාරකයින් හේතුවෙන් පත‍්‍රවල කහ දුඹුරු ලප ඇතිවේ. මෙම රෝග පාලනයට ශෂ්‍ය විද්‍යාත්මක පාලන ක‍්‍රම අනුගමනය කිරීම හානිය උග‍්‍ර නම් නිර්දේශිත දිලීර නාශකයක් යෙදිය හැකිය.
පැළ මිරිස් සඳහා ප‍්‍රධාන පළිබෝධ හානි රැසක් සිදුවේ. ඒවා නම් මයිටා, කූඩිත්තා, පැළමැක්කා, සුදුමැස්සා යන කෘමින් පත‍්‍රවලින් යුෂ උරාබොන අතර වෛරස් වාහකයින් ලෙස ද කි‍්‍රයා කරයි. මේ නිසා කොළ කොඩවීම දැකගත හැකිය. පාලනයට නිර්දේශිත කෘමිනාශක යෙදීම කළ යුතුය. කරල් විදින පණුවා මෙම කීටයා වෘන්තය ආසන්නයෙන් කරල සිදුරු කර අභ්‍යන්තරය කා දමයි. කරල් හැළීයාම සිදුවේ.



  • කරල ගසේම ඉදෙන්නට හැර, පසුව කරල පිටින්ම වියළා බීජ වෙන් කර ගන්න.

  • පැළ සිටුවා දින 75 දී පළමු අස්වැන්න ලබාගත හැකිය.

  • හන්ගේරියන් යෙලෝ වැක්ස් පහතරට හා මැදරට තෙත් කලාපවලට යෝග්‍ය නොවේ.
උපදෙස් 

ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ
ආචාර්ය සී. කුඩාගමගේ පර්යේෂණ නිලධාරිනි
ආචාර්ය හේමාල් ෆොන්සේකා
එළවළු බෝග අංශයේ පර්යේෂණ නිලධාරි 
ආචාර්ය එච්.එම්.ආරියරත්න

No comments:

Post a Comment