කැන කැපුවට පස්සෙත් ලෙඩ බෝ වෙන්න පුළුවන්
කෙසෙල් වගාවට වැලදෙන වෛරස් හා දිලීර රෝග හේතුවෙන් අස්වැන්න අඩුවේ. වෛරස් රෝගයට ගොදුරු වූ කෙසෙල් ගසකින් ලැබෙන කැන් ඉතා දුර්වල වෙන අතර වෙළෙඳ පොළට නුසුදුසු ය. වැළඳුන පසු ප්‍රතිකර්ම නැති බැවින් වළක්වා ගැනීමට කටයුතු කිරීම ඔබේ යුතුකමකි.
කෙසෙල් කහ ඉරි වෛරස් රෝගය
පත්‍ර මත නාරටිවලට සමාන්තර කහපාට කඩ ඉරි ඇති වී පසුව ඒවා හාවී දිග ඉරි බවට පත්වී කාලයත් සමඟ දුඹුරු පාටටත්, ඉන්පසු කළු පාටටත් හැරේ. පරණ පත්‍ර වියළී යාම සිදුවෙන නිසා ඉතා අඩු සංඛ්‍යාවක් කි‍්‍රයාකාරී පත්‍ර ගසෙහි දැකිය හැකි ය. එමෙන් ම පත්‍ර නාරටි ගනවීම නිසා පත්‍ර රෝල්වීම ද දැකිය හැකි ය. අතු කඩා වැටීමත්, කෙසෙල් කැන් කුඩාවීමත් ඵල කුඩාවී විකෘතිවීමත් කෙසෙල් ඉරි වෛරසයේ රෝග ලක්ෂණයි.
කෙසෙල් විචිත්‍ර වෛරස් රෝගය
කෙසෙල් මුවය මත දියමන්ති ආකාරයේ රතු පැල්ලම් ද, මැද නාරටි මත ඇතිවීම, කෙසෙල් කැන් කුඩාවීම, ඵල කුඩාවීම සහ විකෘතිවීම මේ වෛරසයේ ස්වරූපයයි.
කෙසෙල් වඳ පීදීමේ වෛරස් රෝගය
ගස කුරුවීම, ගසේ අග පෙදෙසේ පත්‍ර ගොනුවීම, පත්‍ර පළලින් අඩුවී සිහින් වීම, පත්‍ර දාර කහ පාටටත්, ඉන් අනතුරුව දුඹුරු පාටටත් හැරීම කෙසෙල් වඳ පීදීමේ වෛරසයේ ස්වභාවයයි.
කෙසෙල් මුව විචිත්‍ර වෛරස් රෝගය
ගොබය කුණුවීමත්, පත්‍ර මත කහපාට විචිත්‍ර ලක්ෂණ ඇති වී ගස මියයාමත්, කෙසෙල් මුව විචිත්‍ර වෛරසය නිසා සිදුවන්නකි.
කෙසෙල් ඉරි වෛරස් රෝගය - පිටිමකුණා මගින් ද
කෙසෙල් විචිත්‍ර වෛරස් රෝගය - කූඩිත්තා මගින් ද
කෙසෙල් වඳ පීදීමේ වෛරස් රෝගය - කෙසෙල් කූඩිත්තා මගින් ද
කෙසෙල් මුව විචිත්‍ර වෛරස් -රෝගය කූඩිත්තා මගින් ද රෝගය පැතිරේ.
බොහෝ කෙසෙල් ප්‍රභේදවලට වැළදෙන රෝගයකි පැනමා රෝගය. ඇඹුල් කෙසෙල් හැර අනෙකුත් ජනප්‍රිය ප්‍රභේද සඳහා පැනමා රෝගය වැළදේ. පැනමා දිලීරය පස් හා ජලය මගින් ද රෝග ශාක මගින් ද පැතිරේ. විශාල වශයෙන් දිලීර ආසාදනයට ලක්වූ ඉඩමක් ඇඹුල් කෙසෙල් ප්‍රභේදය හැර අනෙකුත් කෙසෙල් ප්‍රභේද නැවත වගාකිරීමට සුදුසු ය.
පැනමා රෝග ලක්ෂණ ගැන දැනුවත්ව සිටියහොත් ඔබට පහසුවෙන් හඳුනාගත හැකි ය. මේරූ පත්‍ර වල දාරය පළමුව කහ පාට වේ. පසුව සම්පූර්ණ පත්‍රයට සහ නටුව ද කහ පැහැවී පත්‍ර කඩා වැටීමත්, මේරූ පත්‍රවල සිට ළපටි පත්‍ර කරා රෝග ලක්ෂණ පැතිරීමත් සිදුවේ. කෙසෙල් කඳ පහළ ප්‍රදේශයෙන් කැපූවිට දුර්වර්ණ වී තද දුඹුරු හෝ කළු පැහැ ගැන්වී ඇති පටක සහිත ප්‍රදේශ රවුමක ආකාරයට දැකගත හැකිවේ.
කෙසෙල් රෝග පාලනය කිරීමට නම්...
. රෝගය දක්නට ලැබෙන වගාවන්ගෙන් පැළ ගැනීමෙන් වළකින්න.
. වඩා ආරක්ෂාකාරී පියවරක් ලෙස රෝගී පඳුර වටා ඇති කෙසෙල් පඳුරු ද ගලවා වෙනත් තැනකින් සිටුවන්න.
. රෝගී ගස් තිබූ ස්ථානයෙහි ඇති පස් වගාව තුළ විසිරී යාමට ඉඩ නොදෙන්න.
. රෝගී වගා බිමක සිට නිරෝගී වගා බිමකට ජලය බැස යාමට ඉඩ නොතබන්න.
කෙසෙල් වගාවට වැළදෙන රෝග අතර සිගටෝකා පත්‍ර ලප රෝගය ද ප්‍රධාන වේ. මෙහි දක්නට ලැබෙන රෝග ලක්ෂණ අතර පත්‍ර තලයේ හටගන්නා ළා - කොළ පැහැති ලප පසුව කහ පාට වී හරස් නාරටි වලට සමාන්තරව පිහිටයි. කල්ගත වන්නට මේ ලප වල දාරය දුඹුරු පාටවේ. මැද ප්‍රදේශය අළු පැහැවේ. ලප දිගටි උත්තල හැඩයක් ගනියි. පත්‍ර වියළී ගිය පසුව ද මේ ලප පහසුවෙන් දැකගත හැකි ය.
රෝග පාලනය සඳහා වගාවට ලැබෙන අධික සෙවන ඉවත් කරන්න. රෝගය වැළඳුණ ගස් කපා ඉක්මනින් ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් වගාව රැක ගැනීමට හැකිවේ. නියමිත පරතරයට පැළ සිටුවීමත්, ජලවහනය දුර්වල ඉඩම්වල කෙසෙල් වගා නොකිරීමටත් වගා බලාගන්න.
අැන්ත්රැක්නෝස් රෝගය කෙසෙල් වගාවේ අස්වැන්නට හානි ගෙන දෙන රෝගී තත්ත්වයකි. දරුණු හානියක් ඇති වන්නේ කෙසෙල් කැන් ළපටි අවස්ථාවේදී රෝගය වැළඳුණු විට ය. ගෙඩි ඉදෙන අවස්ථාවේදී රෝගය වැළඳුණු විට ගෙඩි වල ගුණාත්මක තත්ත්වය බාලවේ.
දරුණු ලෙස රෝගී තත්ත්වයට ගොදුරු වූ කෙසෙල් කැන් කළු පැහැවී වියළී යයි. කල්ගතවීමේදී මේ තත්ත්වයට ගොදුරු වූ කෙසෙල් කැන් මත රෝස පැහැති දිලීර බීජානු දැකගත හැකි ය. රෝගය වැළඳුණ පත්‍ර මත කුඩා දුඹුරු පැහැති ලප ඇතිවේ.
රෝග පාලනය සඳහා ගත හැකි පියවර අතර රෝගය වැළඳී ඇති සියලුම ශාක කොටස් වගාවෙන් ඉවත්කර පුළුස්සා දැමීම වඩාත් සුදුසු ය. වගාව පිරිසුදුව තබා ගැනීමට වගබලා ගත යුතු ය. රෝගය බහුල වශයෙන් දක්නට ලැබෙන ප්‍රදේශවල සහ තෙත් කාලගුණික තත්ත්වයක් පවතින විට දී දිලීර නාශක කෙසෙල් කැන් හොඳින් තෙමීයන පරිදි යොදන්න. දිලීර නාශක පළමුව යෙදීම ආරම්භ කළ යුත්තේ කැනෙක ඇවරි විවෘත වීම ආරම්භ වූ අවස්ථාවේ දී ය.
දිලීරයක් නිසා වැළඳෙන තවත් රෝගයකි සෙප්ටෝරියා පත්‍ර ලපටි රෝගය. ඇඹුල් සහ ආනමාළු ප්‍රභේද මෙම රෝගයට බහුලව පාත්‍ර වේ. විශේෂයෙන් මේරූ පත්‍ර මේ රෝගයට පාත්රවේ.
දිලීර රෝග අතර තවත් බහුල වූවකි කෝඩානා පත්‍ර ලප රෝගය, රෝගය වැළඳෙන්නේ ගසේ පහතින් ඇති පත්‍රවල ට ය. රෝගය නිසා පත්‍ර හටගන්නා ඕවලාකාර හැඩැති ලප වල මැද දුඹුරු පාට ය. පිටත දාරය තද කහ පැහැති ය.
තද බල ලෙස රෝගයට ගොදුරු වූ විට පත්‍රවල දාරය දිගේ ප්‍රදේශය විශාල ලෙස වියළී යාමක් සිදුවේ. පැතිරීයාම වළක්වා ගැනීමට ඔබ කල්පනාකාරී විය යුතු ය. බීජාණු සමඟ තිබෙන පත්‍ර ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු ය.
කෙසෙල් අස්වැන්න නෙලීම, ඇසිරීම ආදිය පිළිබඳව ද අවබෝධයක් ඔබට තිබිය යුතුය. අධික ලෙස මෝරන තෙක් අස්වනු නෙළීම ප්‍රමාද කළවිට බොහෝ කෙසෙල් වර්ගවල ගෙඩි පිපිරීමට ඉඩ තිබේ. සම්පූර්ණයෙන් මේරූ අවස්ථාවට පත්වීමට පෙර කෙසෙල් කැන් කපා ගන්න.
කෙසෙල් ගෙඩි කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන විට පොත්තේ දාර ස්වභාවය අඩුවී රවුම් හැඩයක් ගන්නා විට කෙසෙල් අස්වැන්න නෙලීම කළ යුතු ය. සාමාන්‍යයෙන් සවස් වරුවේ අස්වැන්න නෙළීම වඩාත් සුදුසු ය. අස්වැන්න නෙලීමෙන් පසුව කෙසෙල් කැන් රොගවලට ගොදුරු වේ. ඇවරි කැපීමේදීත්, සේදීමේදිත් කැපූ මුහුණත මත දිලීර ආසාදන ඇතිවේ.
ඇවරි සේදීමේදී වරින් වර ජලය මාරු කිරීමත්, කෙසෙල් ගෙඩිවලට තුවාල වීමට ඉඩ නොදීමත්, ඇවැරි ගබඩා කරන ස්ථාන පිරිසුදුව තබාගැනීමෙනුත්, මේ දිලීර ආසාදනයෙන් වළක්වා ගත හැකි ය.
No comments:
Post a Comment