පේර පැළ ලබාගැනීමට සුදුසුම ක්‍රමය බද්ධ කිරීම
ඔබේ ගෙවත්තේ හොඳින් ජලය වහනය වන පසක් ඇත්නම් ඔබ සිටුවන පේර පැළය කදිමට වැඩේ. ලවණතාවයට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති බැවින් අනෙකුත් බෝග වැවීමට නුසුදුසු භූගත ජල මට්ටමක් පවතින ස්ථානවල ද පේර ගසක් සිටුවිය හැකිය.
ගෙවතු වගාවක් වශයෙන් පේර වගා කරන බොහෝ අවස්ථාවලදී ඔබ බීජ පැළ තෝරාගෙන ඇත. ඒ ඔබ ඔබේ පුරුද්දට එසේ කරනවා ඇත. නමුත් ගුණාත්මක බව හා රසය මවු ශාකයට වඩා වෙනස් වේ.
ගසක පවතින ලක්ෂණ එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා පැළ බද්ධ කිරීම මෙන්ම ලේයර් කිරීම (අතු බැඳීම) මඟින් පැළ සකසා සිටුවීමත් සාර්ථක ක්‍රමයයි.
බීජ පැළ කිරීම සඳහා ඔබට වැලි තවාන හෝ කුඩා පොලිතින් බඳුන් තෝරාගැනීමට හැකියාව ලැබේ. වැලි තවානේ හෝ සකසාගත් කුඩා පොලිතින් බඳුන්වල බීජ සිටුවන්න.
මතුපිට පස්, වැලි සහ දිරාපත් වූ කාබනික පොහොර සම ප්‍රමාණවලින් මිශ්‍රකරගන්න. සිටවූ බීජ ප්රරෝහණයට සති දෙකක් තුනක් වැනි කාලයක් ගතවේ. බීජ පැළ සෙ.මී.4ක් පමණ උස් වූ විට විශාල පොලිතින් බඳුන්වලට මාරු කරන්න.
දෙවැනි වරටත් බඳුන් කරගත් පේර පැළය මාස 5 – 7 කාලයක් තිබෙන්න හරින්න. ඔබට අවශ්‍ය නම් බද්ධ කිරීමට යොදාගත හැකිය. නොඑසේ නම් සුදුසු ස්ථානයක සිටුවීමට හැකියාව තිබේ.
ඔබ ලබාගත් දැනුම මත පේර බද්ධ කිරීමක් වුවද කිරීමට හැකියාව ලැබේ. වැඩි අස්වැන්නක් ලබාදෙන උසස් ගුණාත්මයක් සහිත ගෙඩි හටගන්නා මවු ගසකින් අංකුර ලබාගන්න.
බද්ධ කිරීමට සති දෙකකට පමණ පෙර බද්ධ අංකුර ලබාගන්නා අතුවල පත්‍ර වලින් තුනෙන් දෙකක් පමණ ප්‍රමාණයක් කපා ඉවත් කරන්න.
එවිට අංකුර මෝදුවී බද්ධ කිරීම සඳහා යොදාගැනීමට වඩාත් සුදුසු තත්ත්වයට පත්වේ.
බද්ධය සාර්ථක කරගැනීම සඳහා ග්‍රාහකයේ පොත්ත පහසුවෙන් ගැලවීමට හැකිවීම අතිශයින් වැදගත්ය. මේ සඳහා ඔබ කළ යුතු වැදගත්ම කාර්යය නම් බද්ධ කිරීමට දින 10කට පමණ පෙර යූරියා ද්‍රාවණයක් ග්රාහක පැළ වල පත්රවලට යෙදීමයි.
බද්ධ කිරීමේදී ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුය. පැලැස්තර බද්ධයේදී සකසාගත් ග්රාහක කඳේ පස් මට්ටමේ සිට සෙ.මී.10-12 පමණ උසකින් සෙ.මීටරයක් පමණ පළලකින් සහ සෙ.මී.2 පමණ දිගත් සහිතව පොතු කැබැල්ලක් ඉවත් කරන්න.
මෙයට බොහෝදුරට සමාන විශාලත්වයක් සහිත හොඳින් මෝදු අංකුරයක් සහිත පොතු කැබැල්ලක් ලබාගෙන ඉක්මනින් ග්‍රාහකයේ පොත්ත ඉවත්කළ ස්ථානයට ඇතුළු කරන්න. ඉන්පසු ඔබ කළයුත්තේ පොලිතින් පටියකින් තදින් වෙලීමයි.
මීළඟට ඔබ දැඩි අවධානයකින් කළ යුතු කටයුත්ත පැළ රැකබලාගැනීමයි. පැළ සෙවණ සහිත ස්ථානයක තබා අවශ්‍ය පරිදි ජලය සපයන්නට බද්ධ අංකුරය ආවරණය කරන ලද පොලිතින් පටිය ඉවත් කිරීමට ඔබට සති 3-4ක් ගතවේ.
ඔබට ඔබ බද්ධ කළ ආකාරය පිරික්සීමට හැකියාව තිබේ. එනම් ප්‍රවේශමෙන් බද්ධ අංකුරය සහිත පොතු කැබැල්ල සීරූවිට කොළ පැහැය මතුවේ.
මෙවැනි ආකාරයට බද්ධ කළ පසු ස්ථානයට ඉහළින් ග්රාහක පැළයේ කඳ කපා දමන්න. එම කැපුම් පෘෂ්ඨය මත දිලීර නාශකයක් ආලේප කරන්න. බද්ධ කළ පැළයට සූර්යාලෝකය හොඳින් අවශ්‍යය.
පේර ගසෙහි සෘජු වර්ධනය වන ස්ථාන මෝරා ඇති අතු, අතු බැඳීම සඳහා උපයෝගී කරගනු ලැබේ. මේ සඳහා අත්තෙහි මිලිමීටර් 25-50 පමණ පොතු වටයක් ඉවත් කරන්න. එම ස්ථානය වටා තෙත කොහුබත් තබා පොලිතීන් කැබැල්ලකින් ආවරණය කර හොඳින් තදවෙනසේ කම්බියකින් වෙළන්න.
සති අටක් දහයක් වැනි කාලයක් තුළදී මුල් වර්ධනය වී ඇති අන්දම දැකගැනීමට පුළුවනි.
ඔබ දැන් කළ යුත්තේ කොහුබත්වලින් ආවරණය කළ ස්ථානයට සෙ.මී.3ක් පමණ පහළින් අත්තෙහි කුඩා කැපුමක් දමා සති කීපයක් තිබීමට ඉඩ හරින්න. දැන් එම කැපුම් දැමූ ස්ථානයෙන් අත්ත වෙන්කර බඳුනක සිටුවන්න. සති 4-6 ක් පමණ කාලයක් ගත වූ පසු එම පැළය ක්ෂේත්රයේ සිටුවීමට සුදුසු තත්ත්වයකට පත්වේ.
අතු බැඳීමෙන් සකසා ගන්නා එවැනි පැළවල මුදුන් මුලක් නැත. එම නිසා ඔබ පැළය සිටවුවද ජල හිඟයක් ඇති නොවීමට වග බලාගන්න. එවැනි පැළ ක්ෂේත්රයේ සිටවූ පසු වසුනක් ලෙස කොහුබත් යොදන්න.
දැනටමත් ඔබේ ගෙවත්තේ පේර ගසක් ඇත්නම් පාර්ශවික මුල්වලට තුවාල කිරීම මඟින්ද පැළ හටගනියි. මේ අයුරින් හටගත් පැළ තරමක් වැඩුණු පසු මුල් කැබැල්ලද සමඟ ගලවා සිටුවන්න. මේ පිළිවෙතින් මවු ශාකයට සමාන ගුණාංග ශාක ඇති කරගැනීමට හැකියාව ලැබේ.
වර්ෂා කාලය ආරම්භයත් සමඟ පේර පැළ සිටුවන්න. පැළය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී සෙවණ ලබාදෙන්න. පැළය සෘජුව වර්ධනයවීමට නම් පැළය අසලින් ආධාරකයක් සිටුවා පැළය එයට තබා ගැට ගැසීම පරෙස්සමෙන් කළ යුතුය.
ජල හිඟයක් ඇති නොවෙන පරිදි ජලය යොදන්න. ගෙඩි වර්ධනය වන කාලයේදී ජල හිඟයක් ඇති වුවහොත් වර්ධනය බාලවේ. මේ නිසා ජලය යෙදීම අඛණ්ඩව කරන්න.
අස්වැන්න නෙළීමට පහසුවන ආකාරයට ගස් පුහුණු කළ යුතුය. කුඩා කාලයේදීම ගසට හොඳින් හිරුඑළිය වැටීමට සැලැස්වීමත්, අනවශ්‍ය අතු කැපීමට සැලැස්වීමෙනුත් ක්‍රමවත් ආකාරයට පේරගස හැඩගස්වාගත හැකිය.
ඒ වගේම වල් මර්දනය පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුය. ගස වටා මීටරයක් පමණ ප්‍රදේශයක වල් පැළ ඉවත් කරන්න. පේරගසේ මුල් මඟින් ශ්‍රාවය කරන ද්‍රව්‍යයක් නිසා මුල් විහිදී ඇති ප්‍රදේශවල වල් සෑදීම අඩු කිරීම වාසිදායක තත්ත්වයකි.
පේර වගාවට හානි කරන්නන් අතර ගෙඩි සිදු කරන පලතුරු මැස්සා ගැන ඇතැම්විට ඔබ අසා ඇත. ගෙඩි සිදුරු කර දමන බිත්තරවලින් පිටවෙන කීටයන් ගෙඩියේ මාංසල කොටස් ආහාරයට ගනියි. ඒ නිසා එවැනි ගෙඩි ආහාරයට නුසුදුසුය. මාංසල බව වැඩි ගෙඩි හටගන්නා පේර වර්ග සඳහා මේ කෘමිහානිය විශේෂයෙන් ඇතිවිය හැකිය.
කල හැකි හොඳම දෙස ගෙඩිය තරමක් වර්ධනය වෙනවිට ආවරණය කිරීමට සැලැස්වීමයි. මේ සඳහා ඔබ නිතර අවධානයෙන් සිටීම වැදගත්.
ගස මැරීයාමේ රෝගය, ගෙඩි කබොළු රෝගය, ගෙඩි කුණුවීමේ රෝගය වැනි රෝගවලටද පේර වගාව ගොදුරුවේ. ගස මැරීමේ රෝගය ඇති කරන්නේ දිලීරයක් මඟිනි. මේ රෝග සෑදුණ විට ගසක එක අත්තක් පහළ සිට ඉහළ මැලවී යාමට පටන්ගනී.
ජලය හිඟයකදී ගසක පත්‍ර මැලවී යාමට සමාන බැවින් ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වනු ඇත. ඒත් මින්පසු මේ ගැනත් සැලකිලිමත් වෙන්න. අවසානයේදී මුළු ගසම මැරී යයි.
මවැනි ගසක් ඔබේ ගෙවත්තෙත් ඇත්නම් ඉක්මනින්ම ගලවා දමන්න. නැතිනම් ඔබේ ගෙවත්්තේ සෙසු ගස්වලට ද ව්‍යාප්ත විය හැකිය. ඒ හැර දිලීර නාශක මඟින් මේ රෝගය පාලනය කළ නොහැකිය.
ගෙඩි ක්‍රමයෙන් විශාලවත්ම ගෙඩි මතුපිට කළු පැහැති ලප ඇතිවී කළු පැහැති ස්ථාන විශාල වී පිටතට මතුවී තුවාල ගිය බවත් පැහැදිලිව දක්නට ලැබේ නම් එය ගෙඩි කබොළු රෝගයයි.
ගෙඩි කුණුවීමේ රෝගයද දිලීරයක් නිසා ඇතිවේ. ගෙඩිය මතුපිට ඇතුළට නෙරාගිය ස්වභාවයක් මේ නිසා ඇතිවේ.
හොඳින් නඩත්තු කළ බීජ පැළ සිටුවා වසර 4 දී පමණ ද බද්ධ පැළ සිටුවා වසර දෙකක් දෙකහමාරක් ගතවූ පසුවද අස්වැන්න නෙලාගත හැකිය.
උපදෙස්
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනයේ,
ඉන්ද්‍රානි මැදගොඩ
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනයේ,
ඉන්ද්‍රානි මැදගොඩ
No comments:
Post a Comment