Wednesday, January 7, 2015



අපේ මැටි කළයේ කතන්දරේ මෙරට කුඹල්

 

කර්මාන්තය එදා සහ අද

 
 
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෞතුකාගාර නිලධාරීන් සහ සීගිරිය ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරනු ලැබූ “සීගිරි මැටි කළය” මැටි බඳුන් ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වෙන මැටි භාණ්ඩ පොළ ජනවාරි 17 දින සිට ජනවාරි 31 දින දක්වා සීගිරිය කෞතුකාගාර භූමියේදි පැවැත්විණි. අද ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ භාවිතය, මෙතෙක් සොයාගෙන ඇති මැටි භාණ්ඩ පිළිබඳව හා මැටි භාණ්ඩවල පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව මෙම ලිපිය සකස් කර ඇත.
ආදී මිනිසා භාවිතා කළ කර්මාන්ත අතරින් කුඹල් කර්මාන්තයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගල් යුගයේ සංචාරක දඩයම් ජීවිතයෙන් ඈත් වූ මිනිසා ගෘහස්ත ගොවි ජීවිතයට සංක්‍රමණය වීමත් සමඟ කුඹල් කර්මාන්තය ආරම්භ කර ඇත. අමු ද්‍රව්‍යයක් ලෙස සුලභව ලබා ගැනීමට හැකිවීමත් පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව නිසාත් කුඹල් කර්මාන්තයේ නිෂ්පාදන ; ආහාර එකතු කර තබාගැනීම, ආහාර පිසීම සහ ආහාර අනුභව කිරීම සඳහා භාවිතා කරන්නට විය. ඒ ගල් යුගයේ අවසාන කාලයේ සිටය.
අතීත මානව ජනාවාසයන් පිළිබඳව හැදෑරීමේ කුඹල් කර්මාන්තයේ නිෂ්පාදනයන් වූ වළං සහ වළං කැබිලිතිවලින් ලැබෙන පිටිවහල ඉමහත්ය. මානව ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු හෙළිදරව් කරගැනීමටත්, කාල නිර්ණය සඳහාත් තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහාත් ජනාවාස රටාව, ජනාවාස ව්‍යාප්තිය සහ ජන ඝනත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමටත් පැරණි සමාජයේ ආගමික, දේශපාලනික, ආර්ථික හා ආර්ථික සමාජ රටාව අධ්‍යයනය කිරීමටත් පුරා විද්‍යාවේදී මැටි බඳුන් අධ්‍යයනය සුවිශේෂ තැනක් ගනී.
මහාවංශය අනුව විජය කුමරුගේ අභිෂේකය සඳහා ඉන්දියාවෙන් කුල කුමරියන් ගෙන්වීමේ දී විවිධ ශිල්ප ශ්‍රේණින්ට අයත් පිරිස් පැමිණ තිබේ. ඔවුන් අතර කුඹල්කරුවන් ද සිටින්නට ඇතැයි අනුමාන කළ හැක්කේ එම අවදියේ භාරතයේ ගංඟා නදී නිම්නයේ මැටි බඳුන් භාවිතා කරන ලද ජනවාස කීපයක් පැවැති බවට පුරාවිද්‍යා සාධක ලැබී ඇති නිසාය. පණ්ඩුකාභය රජ සමයේ අනුරාධපුරය නගරයක් ලෙස සැලසුම් කරන අවස්ථාවේ නගරයට පරිභාහිරව ගම් නිර්මාණය කරන ලද්දේ විවිධ කර්මාන්තවල නියැළෙන කුල ශ්‍රේණින් සඳහාය. එකල අනුරාධපුර නගරය වටා විවිධ කුල ශ්‍රේණින් පන්සියයක් සිටි බව සඳහන් වෙයි. නිසැකයෙන් ම ඔවුන් අතර කුඹල්කරුවන් ද ජීවත් වෙන්නට ඇත. ඉන්දියාවේ සිට ශ්‍රී මහ බෝධිය වැඩමවන අවස්ථාවේදී මෙරටට පැමිණි දහ අට කුලයක ශිල්පීන් අතර “කුම්භකාර” ශිල්පීන් ද සිටි බව මහාවංශයහි සඳහන් වෙයි. එම කුම්භකාර ශිල්පීන් සිටි ගම්මාන “කුම්භකාර ගාච” යනුවෙන් හැඳින්විණ. කුඹල් කර්මාන්තයහි නිරතවූ ශිල්පීන් “කුඹකර” යනුවෙන් හැඳින්විණ.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කැණීම්වලදී බහුලවම හමුවන මාධ්‍යය වන්නේ මැටි බඳුන්ය. වසර එක්දහස් අටසිය අනූවටත් පෙර, අපේ රටේ සිටි බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී. බෙල්ගේ කාලයේ පටන් පුරාවිද්‍යා කැණීම්වලදි වළං කටු හමුවී ඇත. එයට පසුව ආනන්ද කුමාරස්වාමි ; ඒ.එම්. හොකාර්ට් ; පී.එල්. ප්‍රේමතිලය ; රෝලන්ඩ් ද සිල්වා ; ශිරාන් දැරණියගල ; සේනක බණ්ඩාරනායක, කොලින් කර්ක් සහ මාටින් කුණා ආදී පුරාවිද්‍යා විද්වතුන්ගේ අවධානය ශ්‍රී ලංකාවේ මැටි බඳුන් පිළිබඳ අවධානය යොමුවී ඇත.
රේඩියෝ කාබන් දින නිර්ණය අනුව දැනට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති පෞරාණිතම මැටි බඳුන් අවශේෂ ලැබී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, දොරවක කන්ද ගල් ලෙනෙනි. ඒවා ක්‍රිස්තු පූර්ව 530 ට අයත් යැයි කාල නිර්ණය කර ඇත. එයින් පසුව ඇඹිලිපිටිය රංචාමඩම, අකුරුගොඩ, තිස්සමහාරාමය, අනුරාධපුර ඇතුල් නගරය ආදී තැන්වලත් ශ්‍රී ලංකාවේ තවත් විවිධ ප්‍රදේශවල සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ආදිතම මැටි බඳුන් අවශේෂ සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් මැටි බඳුන් පුරාවිද්‍යාඥයින් විසින් කොටස් දෙකකට වර්ග කරනු ලැබේ. ඒ දේශීය නිෂ්පාදන සහ විදේශීය ආනයනික භාණ්ඩ වශයෙනි. විදේශීය මැටි භාණ්ඩ ඉන්දියාව, චීනය, අග්නිදිග ආසියාව, මධ්‍යධරණී කලාපය, පර්සියාව සහ යුරෝපයෙන් ආනයන කරන ලද ඒවාය.
දේශීය මැටි භාණ්ඩ අතින් සෑදූ හෝ සකපෝරුව ආධාරයෙන් සෑදූ හෝ එම තාක්ෂණ ක්‍රම දෙකම උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ලද ඒවාය. මේ සියලුම මැටි භාණ්ඩ අඩු උෂ්ණත්ව මට්ටමක් යටතේ පුළුස්සන ලද ඒවාය. කැණීම්වලදී හමුවූ මැටි භාණ්ඩ අතර කළු මැටි බඳුන්, රතු පැහැති මැටි බඳුන්. බඳුනේ පිටත රතු පැහැයෙන් සහ ඇතුළත කළු පැහැයෙන් යුතු කළු රතු මැටි බඳුන්, මයිකා ආලේපිත මැටි බඳුන් සහ වර්ණාලේපිත මැටි බඳුන් දක්නට ඇත.
මෙලෙස හමුවූ දේශීය වළං, ගෝලාකාර, ඕවලාකාර, ඉලිප්සාකාර, කේතුකාකාර, සිලිංඩරාකාර සහ බහුවලාකාර යන මූලික හැඩ පදනම් කරගෙන නිර්මාණය කර ඇති බව පුරාවිද්‍යාඥයින් නිර්ණයකර ඇත. එසේම පුරාවිද්‍යාඥයින් අතර ස්ථාපිත තවත් මතකයක් වන්නේ ශ්‍රී ලංකාවේ කාලරක්ත මැටි බඳුන් ක්‍රිස්තු පූර්ව 900 - 600 පමණ ප්‍රෝටෝ ඓතිහාසික යකඩ යුගයෙන් ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ 100 - 300 පමණ ඉහළ මූල ඓතිහාසික යුගයෙන් අවසන් වන බවය.
මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලදී මැටි බඳුන් හමුවූ ස්ථානයක් වශයෙන් සීගිරියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන සීගිරිය අප බොහෝ දෙනා දන්නේ කාශ්‍යප රජුගේ නිර්මාණයක් වශයෙන් වුවත් දැනට සිදුකර ඇති පුරාවිද්‍යා ගවේෂණවලින් පැහැදිලි වී ඇත්තේ සීගිරියෙහි ඉතිහාසය වසර 5500 ක් පමණ ඈතට විහිදියන බවය. එවැනි දිගු ඉතිහාසයකට හිමිකම් කියන සීගිරියෙන් හමුවී ඇති පැරණිම මැටි බඳුන් අවශේෂ අවුරුදු තුන්දාහක් පමණ පැරණිය.
සීගිරියේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ වෙන්නේ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමත් සමඟය. ඒ 1896 දීය. සීගිරි ගල මුඳුන, ජල උද්‍යානය, සිංහ පාදය, දිය අගල් ආදී සෑම ස්ථානයකම කැණීම් සිදුවී ඇත. එහිදී යම් යම් ස්ථානවලදී සම්පූර්ණ මැටි බඳුන්සේ ම කාල වර්ණ, රක්ත වර්ණ, කාල රක්වර්ණ මැටි බඳුන් කොටස් හමුවී ඇත. එයට පසුව 1982 කාලයේදී ද සීගිරිය අවට සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී මැටි බඳුන් අවශේෂ සොයා ගැනීමට පාත්‍රවී ඇත.
දෙදහස් නවය වසරේ සීගිරි නාගරික සංකීර්ණය තුළ පිහිටා ඇති පහන්ගල ගුහාවේ සිදුකළ කැණීම්වලදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පුරාවස්තූන් හමුවී ඇත. එහිදී භික්ෂූන් වහන්සේලා දහම් දෙසීමේදී හිඳ ගැනීම සඳහා භාවිතා කළ ‘ධම්මාසනය’ යනුවෙන් හඳුන්වන ශෛලමය ආසනයක් හමුවී ඇත. එහිදී රක්තවර්ණ මැටි භාජන කොටස් කීපයක් ම හමුවිය. ඒවා පාත්‍රා, තැටි ආදී බඳුන්වල කොටස් වූ භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ මැටි භාජන කොටස් විය. ගෘහාශ්‍රිත මැටි භාජන එහිදී හමුවූයේ අඩුවෙනි.
දෙදහස් එකොළහ වසරේ සීගිරියට නුදුරු ඉහළ තලවැල්ලා උල්පත කැණීම්වලදී මැටි භාජන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. මෙම ශිලා සුසාන කැණීම්වලදී කාලවර්ණ රක්තවර්ණ සහ කාල රක්තවර්ණ මැටි භාජන අවශේෂ ලැබී ඇත. ඒවා කුඹල් සකපෝරුව භාවිතයෙන් නිර්මාණය කළ ඒවාය. එම අවදියේ මිනිසා‍ගේ දෛනික අවශ්‍යතා සපුරාගත් භාජන සහ සුසාන ද්‍රව්‍ය හා භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා එම මැටි භාජන භාවිතා කර ඇත. භාජන කටෙහි විෂ්කම්භය සෙ.මි. 4.3 සිට සෙ.මි. 50 දක්වා වූ විශාල ප්‍රමාණයෙන් යුක්ත මැටි බඳුන් මෙහිදී හමුවී ඇත.
දෙදහස් දොළහ වසරේ ආරම්භ කළ සීගිරිය උතුරු ඇතුල් දිය අගලෙහි සිදුකළ කැණීම්වලදි මෙරට නිෂ්පාදිත මැටි භාජනවලට අමතරව ආනයනික මැටි භාජන කොටස් ද හමුවී තිබේ. පඬු පැහැ භාජන, ඔප දැමූ රතු භාජන පමණක් නොව, වර්ණාලේපිත භාජන ද එම කැණීම්වලදී හමුවී ඇත. එහිදී මැටි භාජනවල පතුල්, කෙමි, ගැටි, බඳ, මූඩි කොටස් හමුවූ අතර ඒවා මුට්ටි, ඇතිලි, කොරස්, බරණි, නෑඹිලි සහ තැටි ලෙස හඳුනාගෙන තිබේ. ඒවා ආහාර පිසීම, ආහාර අනුභවය, බීමට ජලය රැස්කර ගැනීම, ගබඩා කිරීම ඇතුලු විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කර ඇත.
සීගිරිය උතුරු ඇතුළු දිය අඟලෙහි මෑතම සිදුකළ පර්යේෂණයේදී එම කටයුතු භාරවූයේ සීගිරිය ව්‍යාපෘතියේ ප්‍රධාන කැණීම් පරීක්ෂක කේ.ජී.‍ෙක්. කරුණාරත්න සහ පර්යේෂණ නිලධාරිනී මල්කාන්ති අතුකෝරලටය. එහිදී ප්‍රථමයෙන්ම දිය අගල මතුකර ගැනීම සඳහා දිගින් මීටර් හැටක ද, පළලින් මීටර් විසි අටක ද ප්‍රදේශයක පස් ඉවත් කරන ලදි. දිය අඟලට යටින් මීටර් 4.5 ප්‍රමාණයේදී කාශ්‍යප රජ දවස ජනාවාස වූ ස්ථරයක් මතුකර ගැනීමට හැකිවිය. එහිදී වළං කැබැලිවලට අමතරව වළං භාජන දෙකක් ද සොයා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
මෙහිදී හමුවූ මැටි භාණ්ඩ අතර සුවිශේෂවූ මැටි කළයක් ද විය. එහි මුවෙහි විෂ්කම්භය සෙ.මි. 12 ක් වූ අතර බ‍ඳෙහි විෂ්කම්භය ‍සෙ.මි. 26 ක් විය. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙතෙක් හමුවූ ඓතිහාසික මැටි බඳුන් අතරින් මෙම කළය තරම් සුරක්ෂිත වෙනත් මැටි භාණ්ඩයක් ලැබී නැත. සීගිරිය ව්‍යාපෘතියේ ප්‍රධාන කැණීම් පරීක්ෂක කේ.ජී.කේ. කරුණාරත්න පවසන්නේ ගෘහස්තව භාවිත කළගෙඩියකට වඩා තරමක් වෙනස් මුවකින් යුක්ත මෙය ජලය ගබඩාකරණ කටයුතුවලට භාවිතා කළ උපකරණයක් ලෙස හඳුනා ගැනීමට අපහසු බවය. එහි කටෙහි ස්වරූපය කළගෙඩියකට වඩා ගුරුලේත්තුවක කටහි ස්වරූපයට සමානය. ගැමි ව්‍යවහාරයේ භාවිත “අතලයට” මෙම කළගෙඩිය සමාන බව ඔහු පවසයි. සීගිරි කාශ්‍යප යුගයට අයත් මෙම කළගෙඩිය ප්ලස්නානය සඳහා භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.
මෑත අතීතයේ සීගිරියෙහි සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණ තුනකදී ලබාගත් කෞතුක මැටි භාණ්ඩ සහ මැටි භාණ්ඩ කොටස් පහත සඳහන් ආකාරයට වර්ගීකරණය කළ හැකි බව කේ.ජී.කේ. කරුණාරත්න පවසයි.
මුවෙහි විෂ්කම්භය සෙ.මී. 16 - 18 ක්වූ මුට්ටි ප්‍රධාන උපයෝගිතාවයන් දෙකක් සඳහා භාවිතා කර ඇත. ඒ ආහාර පිසීම සහ සුසාන ද්‍රව්‍ය තැන්පත් කිරීම සඳහාය.
මුවෙහි විෂ්කම්භය සෙ.මි. 26 - 28 ප්‍රමාණවලින් හමුවූ ඇතිලි ආහාර පිසීම සදහා භාවිතා කර ඇත. මුවෙහි විෂ්කම්භය 14 - 18 ක්වූ පාත්‍ර ආහාර අනුභවය සඳහා භාවිතා කර ඇත. මුවෙහි විෂ්කම්භය 36 - 38 ක්වූ තැටි ආහාර අනුභවය, ආහාර පිළිගැන්වීම ආහාර බෙදා හැරීම වෙනත් දෑ පිළිගැන්වීම සඳහා භාවිතා කර ඇත. මුවෙහි විෂ්කම්භය සෙ.මි. 38 - 50 සිවු බරණී එක් එක් ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිතා කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය හා ප්‍රචාරක නිලධාරී පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ පවසන්නේ ජනවාරි 17 සිට 31 දක්වා සීගිරිය කෞතුකාගාර භූමියේ “සීගිරි මැටි කළය” යනුවෙන් කෞතුකාගාර ප්‍රදර්ශනයක් පැවැත්වූයේ සීගිරි මැටි කළයට සමගාමීව ශ්‍රී ලාංකේය මැටි කළයේ පණිවිඩය සමාජගත කිරීම සඳහා බවය.
ක්‍රි.ව. පස්වන සියවසට අයත් සීගිරි ජල උද්‍යානයෙන් ලද කොතලය හා සීගිරි පෝය ගෙය කොතලය, ක්‍රි.ව. නමවන හවන සියවස්වලට අයත් රම්බා විහාර වත්තේ ජලකළය, අනුරාධපුර ජේතවනාරාමයෙන් ලද කළය හා පාළුගම, ගල්ගමුව, තලාව මැහි ඇල්ල හා මහායාගම, ගොකරැල්ලගම, කැකිරාව, පණ්ඩිතරඹාව, ගලෙන් බිඳුණු වැව නොච්චියාගම ප්‍රදේශවලින් ලැබුන නූතන කළද මෙහි ප්‍රදර්ශනයට තබා තිබුණි.

No comments:

Post a Comment