Sunday, January 11, 2015
ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙනසනීපාරක්‌ෂක කසළ රැඳවුම් බිම්
ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වා දෙනසනීපාරක්‌ෂක කසළ රැඳවුම් බිම්
කැළිකසළ අප වැනි රටකට මෙන්ම ලොව බොහෝ රටවලට ද දරාගත නොහැකි තරම් උග්‍ර ගැටලුවකි. විශේෂයෙන් ම නගරයේ සියලු කැළිකසළ ගෙනැවිත් බැහැර ලීම හේතුවෙන් ඉදි වන දැවැන්ත කුණු කඳුවලින් ජනතාවට විඳින්නට සිදු වන පීඩාවන් අපමණ ය. කෙතරම් විසඳුම් ලබා දුන්න ද නො සැලකිලිමත් බව හෝ අසාර්ථක බව හෝ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල කැළිකසළ අර්බුදය තවදුරටත් නොවෙනස් ව පවතියි.
මේ නිසා මේ ගැටලුව සඳහා එක ම ආකාරයේ පිළියම්වලට සීමා නො වී වෙනස් වෙනස් ආකාරවල පිළියම් අත්හදාබැලීමට ද සිදු වෙයි.
අප රටට හඳුන්වා දෙන නවතම කසළ බැහැර ලීමේ ක්‍රමවේදය වන්නේ ලොව සංවර්ධිත රටවල කසළ බැහැර ලීමේ විද්‍යාත්මක ක්‍රමවේදය වන සනීපාරක්‌ෂක කසළ රඳවන වැඩපිළිවෙළ ය. මෙහි දී කසළ රැඳවීම සිදු කරනුයේ තෝරාගත් භූමිභාගයක මහජනතාව ගේ සෞඛ්‍යාරක්‌ෂාවට හා පරිසරයට හානියක් නො වන ආකාරයෙනි. එනිසා එය හුදෙක් ම කුණු පටවාගත් වාහනයක් පැමිණ කරන කුණු බැහැරලීමක් නො ව ඉතා ම ක්‍රමානුකූලව මනා අධීක්‌ෂණයක් යටතේ අදියර ගණනාවකින් සිදු කෙරෙන ක්‍රියාවලියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.
මේ අනුව අප රටේ සියලු අංගෝපාංගවලින් සමන්විත මෙකී ප්‍රථම සනීපාරක්‌ෂක කසළ රඳවනය ඉදි කර ඇත්තේ දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති හෙක්‌ටයාර 5ක භූමියක ය. ඉදිරි කාලයේ දී දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක ම මෙවැනි කසළ රැඳවුම් භූමි ඉදි කිරීමට නියමිත ය.
මේ, සනීපාරක්‌ෂක කසළ රඳවන වැඩසටහන භාර ව කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අධ්‍යාපන හා දැනුවත් කිරීම් නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් එම්. ඡේ. ජයවිලාල් ප්‍රනාන්දු මහතා සමග සෞඛ්‍යාරක්‌ෂක කසළ රඳවනය සම්බන්ධයෙන් විදුසර කළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි.
අද කැළිකසළ ප්‍රශ්නය උග්‍ර තත්ත්වයට පත් ව ඇත්තේ නිසි කළමනාකරණයකින් තොර ව කසළ බැහැරලීම හේතුවෙනි. මේ හේතුවෙන් ජල දූෂණය, වායු දූෂණය, පස දූෂණය, රෝගවාහකයන් බෝ වීම ජෛව විවිධත්වයට හානි වීම ආදි සෞඛ්‍ය, පරිසර මෙන්ම සමාජීය ආර්ථිsක ගැටලු ද උද්ගත වේ. මේ සියලු ගැටලුවලට විසඳුම ලෙස සැලකෙන්නේ ක්‍රමවත් කසළ කළමනාකරණයක් ක්‍රියාත්මක කිරීම ය. එහි දී කසළ ජනනය වන ස්‌ථානයෙහි සිට අවසානයේ කෙරෙන සනීපාරක්‌ෂක බැහැරලීම දක්‌වා එකිනෙකට බැඳී පවතින විවිධ අවස්‌ථා සඳහා නිසි උපායමාර්ග අනුගමනය කෙරෙයි.
එහි දී කසළ ජනනය අවම කරගැනීමට කටයුතු කිරීම, නිසි පරිදි ජනනය වන ස්‌ථානයේ දී ම කසළ වර්ග කර තෝරා වෙන වෙන ම එකතු කිරීම, ක්‍රමවත් ව ප්‍රවාහනය කිරීම, කොම්පෝස්‌ට්‌කරණය ආදී ප්‍රතිකර්මවලට යොමු කර කසළවල ඇති විෂ විෂ ස්‌වභාවය හා ප්‍රමාණය අඩු කරගැනීමේ ක්‍රියාමාර්ගවලට යොමු කිරීම හා කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය පමණක් සනීපාරක්‌ෂක කසළ බැහැර ලීමේ බිමකට යොමු කිරීම යන පියවර අනුගමනය කෙරෙයි. ඒ අනුව දොම්පේ මාළිගාවත්ත ග්‍රින්පාර්ක් සනීපාරක්‌ෂක කසළ රඳවනයට ගෙන එන කසළ නිවෙස් මට්‌ටමේ දී ම වෙන් කර එකතු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කෙරෙයි. ඉන්පසු රැගෙන එන කසළ ද නැවත තෝරා වෙන් කිරීම කසළ රඳවන භූමියේ දී සිදු කෙරෙයි.
වර්ගීකරණය
මෙහි දී ෙdaරාගත් දිරාපත් වන කසළ වෙන් කර මේ ස්‌ථානයේ ම පවතින කොම්පෝස්‌ට් පොහොර සෑදීමේ ඒකකයට යොමු කරනු ලැබේ. නො දිරන කසළවල ඇති ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ ඒවා මිල දී ගන්නන්ට රැගෙන යැම පිණිස වෙන ම ස්‌ථානයක ගබඩා කර තබන අතර කඩදාසි, පොල්කටු, වීදුරු, පොලිතින්, ප්ලාස්‌ටික් මීට උදාහරණ වේ. මෙහි දී ප්‍රතිචක්‍රීකරණයට යොමු කළ නොහැකි අන්දමට අපවිත්‍ර වී ඇති ද්‍රව්‍ය මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි දෑ ද කසළ රඳවනයට යොමු කිරීම සඳහා වෙන් කරගැනෙයි. උදාහරණ ලෙස අපවිත්‍ර වී ඇති පොලිතීන් වර්ග (ලන්ච් ෂීට් ආදිය), සමහර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පොලිතීන් වර්ග, රබර් කැබැලි, පෝසිලේන් මෙන්ම දිරාපත් වීමට කාලයක් ගත වන පොල් ලෙලි, පොල් මුඩු, අතු කැබැලි ආදිය ද සනීපාරක්‌ෂක කසළ රඳවනයට යොමු කිරීම සිදු කෙරෙයි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් කසළ රඳවනයට යොමු කෙරෙන්නේ රැගෙන එන කසළ අතරින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි දෑ සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවත් දූෂ්‍ය තත්ත්වයේ පවතින දෑ ය.
දොම්පේ මාළිගාවත්තේ ඉදි කර ඇති ග්‍රීන්පාර්ක් කසළ රඳවනයෙහි කසළ බැහැර ලීම සඳහා වෙන් කර ඇත්තේ මුළු භූමිය වන හෙක්‌ටයාර 5න් හෙක්‌ටයාර 2ක් පමණ සනීපාරක්‌ෂක කසළ රඳවනයක ඇතුළත් විය යුතු අනෙකුත් පහසුකම් සඳහා වෙන් වී ඇත.
කසළ රඳවනයක් ඉදි කිරීමේ දී පරිසර දූෂණය අවම කරගැනීම සඳහා උපක්‍රම ගණනාවක් ම යොදා ඇත.
ඒ අනුව මුලින් ම කසළ රඳවනයට බැහැර ලන කසළ එයින් බැහැරට නො යැම සඳහා බැම්මක් තැනීම හෝ වළක් ආකාරයට සකසාගැනීම සිදු කෙරෙයි.
මෙසේ සකසන කසළ රඳවනයේ පතුලේ ආනතිය සියයට දෙකක පමණ බෑවුමකින් යුක්‌ත ය.
ඉන් පසුව කසළ රඳවනයේ පතුලේ බිම හොඳින් තලා එහි මැදින් විශාල බටයකුත් එයට සම්බන්ධ වන සේ සිදුරු සහිත එයට කුඩා ප්‍රමාණයේ බට ගණනාවකුත් මාළු කටුවක හැඩයට සිටින සේ අතුරනු ලැබේ. මේ බට High Density Polyethylene-(HDPE)වලින් ඉතා ඝනකමට නිමවූ ඒවා වේ.
මේ බට පද්ධතියට මතුපිටින් සෙන්ටිමීටර 30 කුඩා කළුගල් (මැටල්) තට්‌ටුවක් යොදනු ලැබේ. (පයිප්ප බටවල සිදුරු මිලිමීටර 20ට වඩා අඩු බැවින් කළු ගල් බට තුළට ඇතුළු වන්නේ නැත). මේ කළුගල් තට්‌ටුවෙන් පයිප්ප බට අතරතුර ඇති අවකාශය පිරෙන අතර කළුගල් සහිත ප්‍රදේශවලින් කාන්දු වන භූගත ජලය ඉහළට නො පැමිණ කළුගල් හරහා පයිප්ප බට තුළට යොමු වෙයි. කළුගල් තට්‌ටුවට උඩින් එලනු ලබන්නේ ජියෝටෙක්‌ස්‌ටයිල් (Geotextile) ඇතුරුමකි. අනතුරුව එම ස්‌තරය මතින් බෙන්තොනයිට් සියයට 5කින් සහ මැටි සියයට 95කින් සමන්විත පස් තට්‌ටුවක් අඩියක පමණ උසකින් තිබෙන සේ තලා අතුරනු ලැබේ. බෙන්තොනයිට් මිශ්‍රණයේ විශේෂත්වය වන්නේ එයට ජලය ඇතුළු වූ විට පිපීමකට ලක් වී පස් අතර ඇති සිදුරු වැසී යැමයි. මේ නිසා භූගත ජලය කළුගල් හා ජියෝටෙක්‌ස්‌ටයිල් ස්‌තර හරහා යම් ප්‍රමාණයක් ඉහළට පැමිණිය ද බෙන්තොනයිට් මිශ්‍රණයෙන් ඉහළට කාන්දු වීම වළකියි.
එබැවින් වැසි කාලවල දී භූගත ජල මට්‌ටම ඉහළ යන විට එම ජලය කසළ රඳවනය තුළට ඇතුළු නො වී එම බට මඟින් ඉවතට ගෙන යැම සිදු කරයි. එබැවින් භූගත ජලය කසළ රඳවනයට ඇතුළු වීම වළකියි.
අනතුරුව බෙන්තොනයිට් තට්‌ටුවට උඩින් අධිඝනත්ව HDPE 1.5 mm (මිලි මීටර එක හමාරේ) කෘත්‍රිම ආස්‌තරණයක් අතුරනු ලැබේ. HDPE යනු අප කවුරුත් හඳුනන ෂොපිං බෑග් නිපදවීමට ගන්නා ප්ලාස්‌ටික් වර්ගයයි. එහෙත් ෂොපිං බෑග් එකක ඝනකම මයික්‍රෝන 20ක් පමණි. මිලිමීටරයක් යනු මයික්‍රෝන 1000ක ඝනකමකි. ඒ අනුව මෙහි එලන පොලිඑතිලීන් ස්‌තරය එක මත එක ඇතිරූ ෂොපිං බෑග් 1500ක පමණ ඝනකමකි). මේ ස්‌තරය ජලයට අපාරගම්‍ය ය. මෙයට යටින් ඇති පොළොවත් සමග වන සම්බන්ධය මේ ස්‌තරයෙන් මුළුමනින් ම අවහිර වෙයි. එබැවින් මේ ස්‌තරයට උඩින් වැටෙන දියර කිසිවක් මේ ස්‌තරය තුළින් පහළට යැම හෝ පහළ ඇති භූගත ජලය ඉහළට පැමිණීම හෝ මේ ස්‌තරය මඟින් මුළුමනින් ම අවහිර කරයි.
දැන් මේ HDPE ආස්‌තරණයේ ආරක්‌ෂාව සඳහා නැවතත් Geotextile ආස්‌තරණයක් යොදා ඒ මතින් කසළ බිමේ එකතු වන අපදියර එකතු කිරීමේ නළ පද්ධතියක් අතුරනු ලැබේ.
HDPE ප්ලාස්‌ටික්‌වලින් ඉතා ඝනකමට නිමවා ඇති මේ නළ පද්ධතිය විශාල ප්‍රධාන නළ දෙකකින් හා ඒවාට සම්බන්ධ වූ සිදුරු සහිත අතු නළ ගණනාවකින් සමන්විත ය. මේවා ද මාළු කටුවක හැඩයට සම්බන්ධ කරනු ලැබේ.
මේ පයිප්ප බටවලින් අපේක්‌ෂා කෙරෙන්නේ කසළවලින් පෙරී එන ක්‌ෂීරිත දියරය (Leachate) එකතු කර කසළ බිමෙන් ඉවතට ගෙන පිරිසිදු කිරීමේ පද්ධතියට යොමු කිරීමයි.
මේ පයිප්ප බටවලට උඩින් අඩියක් උසට කළුගල් ස්‌තරයක් අතුරනු ලබන අතර එමඟින් එම නළ වටා කසළ බැඳී ඒවා අවහිර වීම වළකියි. මෙතෙකින් වළෙහි පත්ල සැකසීමේ කාර්යභාරය අවසන් වේ. පත්ලට එලන ලද සියලු ම ස්‌තරවල ඝනකම එකට සැලකූ විට මීටරයකට ආසන්න උසකි.
එමෙන් ම පැති බිත්ති හරහා ද ජලය හා ක්‌ෂීරිතය කාන්දු වීම වැළැක්‌වීම සඳහා පැති බිත්තිවලට ද පෙර ආකාරයෙන් ම Geotextile බෙන්තොනයිට් මෙන්ම HDPE ආස්‌තරණයන් ගෙන් සමන්විත ආරක්‌ෂක ස්‌තර කිහිපයක් යොදනු ලැබේ. ඉන්පසු එම තට්‌ටුව මතින් කළුගල් තට්‌ටුවක් හෝ පරණ ටයර් ස්‌ථරයක් යොදා පැති බැම්මේ ස්‌තරවලට අමතර ආරක්‌ෂාවක් සලස්‌වයි. පැති බිත්තිවලට යොදන ආස්‌තරණවල උඩ කෙළවර, බැම්ම මත කපා ඇති කාණුවක් තුළ රඳවා කොන්ක්‍රිට් අතුරන බැවින් පහළට රූටා යන්නේ නැත.
මෙයට අමතරව කසළ රඳවනයෙන් ඉවත් වන මීතේන් ආදී නිර්වායු ජීවීන් මඟින් නැපදවෙන වායු වර්ග දහනය කිරීමේ වායු හුවමාරු පද්ධතියක් ද මේ ස්‌ථානයේ ස්‌ථාපිත කර ඇත. එමඟින් වායු දූෂණය අවම කරගැනීමේ පියවර ගෙන තිබේ.
සෙසු පහසුකම්
සෞඛ්‍යාරක්‌ෂක කසළ රඳවන භූමියෙහි ප්‍රධාන කසළ වළ හැරුණු විට තවත් පහසුකම් ගණනාවක් ම වෙයි. මේ වෙත
රැගෙන එනු ලබන කසළ ප්‍රහාහන රථ භූමිය තුළට ගැනීමට පෙර ඉලෙක්‌ට්‍රොනික බිම් තරාදියකින් බර කිරීමකට ලක් කෙරෙයි. ඒ කොපමණ කසළ ප්‍රමාණයක් එකතු වන්නේ ද යන්න ගණනය කිරීම සඳහා ය. මේ දත්ත පරිගණක පද්ධතියක සටහන් වෙයි.
මේ ස්‌ථානය කෙතරම් පවිත්‍රතාව ගැන සැලකිලිමත් ද යත් කසළ ගොඩබෑ පසු වාහන භූමියෙන් පිටත් වීමට පෙර ඒවායේ ටයර හොඳින් සේදීම සඳහා ද වෙන ම උපකරණයක් ස්‌ථාපිත කර ඇත. මේ මඟින් කසළ බිම තුළට ගමන් කරන කසළ ප්‍රවාහන ර,වල ටයර්වල ඇති කසළ බාහිර පරිසරයේ මාර්ග වෙත යැම වළකින අතර පරිසරයේ ආරක්‌ෂාව තහවුරු කරයි.
නඩත්තු කටයුතු සඳහා සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා ගොඩනැ`ගිල්ලක් ද ග්‍රීන් පාර්ක් කසළ බිම තුළ වෙයි. කොම්පෝස්‌ට් ඒකකය, ප්‍රතිචක්‍රීකරණය සඳහා සුදුසු කසළ රඳවන ගබඩා මෙහි ඇති සෙසු ඉදිකිරීම් අතර වේ. පෙර සඳහන් කළ පයිප්ප බට හරහා එකතු වන ජලය පරිසරයට නිදහස් කිරීමට පෙර ප්‍රතිකර්මයට ලක් කිරීම පිණිස අපජල පිරිපහදු පද්ධතියක් ද ඒ වෙත යෑවීමට පෙර ජලය තාවකාලිකව රැඳවීම සඳහා ටැංකි පද්ධතියක් ද මෙහි තිබේ.
කසළ වැළලීමේ ක්‍රියාවලිය
කසළ බැහැර ලන ප්‍රදේශය කොටස් 6කට බෙදා ඇති අතර එක් කොටසක් මීටර 5ක් උසට පිරවී අවසන් වන තුරු ඊළ`ග කොටස්‌වල කසළ පිරවීම සිදු නො කෙරෙයි. එමඟින් අපේක්‌ෂා කෙරෙන්නේ එකතු වන අපදියර ප්‍රමාණය අවම කරගැනීමයි. මේ එක් එක් කොටසට කසළ බැහැර ලන්නේ හොඳින් තලමිනි. බැහැර ලන කසළ දිනපතා සෙන්ටිමීටර 15ක පස් තට්‌ටුවකින් වසා දැමෙයි. එමඟින් මැසි මදුරුවන් බෝ වීම හා දුගඳ හැමීම වළකාලයි.
මේ ආකාරයට පතුලේ සිට මීටර 5ක් උසට මේ කසළ රඳවනය තුළ කසළ තැන්පත් කිරීම අදියරෙන් අදියරට සිදු කෙරෙයි.
වේගයෙන් විස්‌තර කළ ද මේ මට්‌ටමට කසළ පිරවුම සම්පූර්ණ වීමට වසර 25කට වැඩි කාලයක් ගත වන බව ගණන් බලා ඇත. දොම්පේ ඉදි කර ඇති කසළ වළෙහි දිනක කසළ ධාරිතාව ටොන් 50ක් පමණ වුවත් සැබැවින් ම දිනකට එකතු වන්නේ ටොන් 10ක පමණ කසළ ප්‍රමාණයකි. එතරම් කාලයක් කසළ පිරවිය හැක්‌කේ එබැවිනි. උපරිම ධාරිතාවෙන් වළ පිරවුණ ද වසර 10කට වැඩි කාලයක් එය පාවිච්චි කළ හැකි ය. ඇතැම් රටවල මෙවැනි ස්‌ථානවලට පුරවන්නේ කසළ දහනය කර ඉතිරි වන අළු ය. එවැනි ස්‌ථානයක මීට වඩා දිගු කාලයක් කසළ රඳවන වළක් භාවිත කළ හැකි ය. එහෙත් අප රටේ ඇති කසළවල අඩංගු ජල ප්‍රමාණය ඉතා ඉහළ බැවින් හා කසළ දහනය වියදම් අධික කටයුත්තක් නිසා පෙර සඳහන් කළ පරිදි කොම්පෝස්‌ට් කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් කසළ බිමට බැහැර ලන කසළ ප්‍රමාණය අඩු කිරීමට පියවර ගෙන ඇත.
අවසානයේ මේ ස්‌ථානය මත පස් හා ගල් තට්‌ටු කිහිපයක් අතුරා ඒ මත විනෝද උද්‍යානයක් ඉදි කෙරෙනු ඇත. ස්‌ථිර ගොඩනැඟිලි සෑදීමට යෝග්‍ය ස්‌ථිර පස් තට්‌ටුවක් නොමැති බැවින් හා කසළ බිමේ ජනනය වන වායු පිට වීමට අවකාශයක් තිබිය යුතු බැවින් මෙවැනි සනීපාරක්‌ෂක කසළ බිම් සංවර්ධනය කෙරෙනුයේ විවෘත උද්‍යාන ලෙසිනි.
අපජල පිරිපහදු පද්ධතිය
අපදියර එකතු කිරීම සඳහා යොදන ලද නළ පද්ධතියට එකතු වන අපජලය වළෙහි බෑවුම ඇති පැත්තෙන් ප්‍රතිකර්ම පද්ධතිය වෙත එකතු කරගනු ලබයි. විශාල ප්‍රමාණයක් අපජලය පැමිණෙන විටක ඒවා ක්‍රමානුකූලව ප්‍රතිකර්ම පද්ධතිය වෙත නිදහස් කිරීම සඳහා රැඳවුම් ටැංකි සමූහයක් ද මේ පද්ධතියට අයත් වේ. පිරිපහදුවට ලක් කිරීමෙන් පසු එම ජලය කෙළින් ම පරිසරයට නො යවා පළමුව කෘත්‍රිමව තැනූ වගුරු බිමකට යොමු කෙරෙයි. මේ වගුරු බිමෙහි ද පතුල ජලය කාන්දු නො වන ආකාරයෙන් ආරක්‌ෂක ස්‌තර අතුරා සකස් කර ඇත. එම වගුරු බිමෙහි හම්බු පන් සිටුවා ඇත්තේ ජලයෙහි බැර ලෝහ ඉතිරි ව ඇත්නම් ඒවා උරාගැනීම පිණිස ය. අවසන් වශයෙන් පරිසරයේ ඇති ස්‌වාභාවික ඇළකට පිරිසිදු තත්ත්වයේ ඇති ඉතිරි වූ ජලය පමණක් යොමු කරනු ලැබේ.
මේ අනුව මෙවැනි කසළ රඳවනයක් නිමැවීම සෞඛ්‍ය හා පරිසර ආරක්‌ෂාව පිළිබඳ කෙතරම් සැලකිලිමත් ද යන්න වටහාගත හැකි ය.
දොම්පේ කසළ රඳවනයෙහි ඉහත සඳහන් පහසුකම් අතරින් සමහරක් තවමත් ඉදි කෙරෙමින් පවතින අතර ඉක්‌මනින් ම අංග සම්පූර්ණ කසළ රැඳවුම් සංකීර්ණයක් තනා නිම කිරීම සනීපාරක්‌ෂක කසළ රඳවන ව්‍යාපෘතියේ අපේක්‌ෂාවයි. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මීළ`ගට අනුරාධපුර, උඩුනුවර, හික්‌කඩුව, බේරුවල යන ප්‍රදේශවල ද කසළ රඳවන ඉදි කිêමට සැලසුම් සකස් කර ඇත.
මෙවැනි දැවැන්ත කටයුත්තක් සඳහා විශාල ධනස්‌කන්ධයක් වැය වන බව පැහැදිලි ය. දොම්පේ ග්‍රින්පාර්ක් කසළ රඳවනයෙහි බරපැනවලින් සැලකිය යුතු කොටසක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර ප්‍රදානයක් ලෙස ලැබිණි. එය ඩොලර් මිලියන 4.5ක වටිනාකමකිs. ශක්‍යතා අධ්‍යයනය, උපදේශකත්වය, නිර්මාණ හා සැලසුම් කටයුතු, කසළ රඳවනයේ ඉදි කිරීම්, භූ ආස්‌තරණ ද්‍රව්‍ය සැපයීම, ප්‍රතිකර්ම පද්ධතිය, නඩත්තු ගොඩනැ`ගිල්ල හා කාර්යාල පහසුකම්, මේ ස්‌ථානයට අවශ්‍ය යාන වාහන, නිලධාරීන් සඳහා විදේශ පුහුණු යනාදී සියලු කටයුතු සිදු කෙරුණේ කොරියානු ආධාරවලිනි.
ඩොලර් මිලියන 1.5ක සෙසු වියදම් ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබිණි. යටිතල පහසුකම්, විදුලිය, ජලය, ප්‍රවේශ මාර්ගය, පොළොව සැකසීම, වාහන හා උපකරණ ආනයනයේ දී බදු සහන ලබා දීම වැනි දායකත්වයන් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයට අයත් විය.
(විශේෂ ස්‌තුතිය මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය අධ්‍යක්‌ෂ සුනිල් උඩුකල මහතාට සහ ග්‍රීන්පාර්ක් සනීපාරක්‌ෂක කසළ බැහැර ලීමේ භූමියෙහි කළමනාකරු මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ චතුර මල්වාන මහතාට
Labels:
TOP DANUMA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment