Sunday, January 11, 2015
සාම්ප්‍රදායික කැලැන්ඩරයේ සිට "විද්‍යාත්මක කැලැන්ඩරය" දක්‌වා
සාම්ප්‍රදායික කැලැන්ඩරයේ සිට "විද්‍යාත්මක කැලැන්ඩරය" දක්‌වා
ගත වූ දෙසැම්බර් 25 වැනි දින, ලෝකවාසී බොහොමයක් ජනතාවට වැදගත් වන්නා වූ අති උතුම් ඡේසුස් ක්‍රිස්‌තුස් වහන්සේ ගේ උත්පත්තිය සැමරූ දිනයයි. අදින් වසර 2015කට පෙර උන්වහන්සේ ගේ උපත බෙත්ලෙහෙමේ දී සිදු විය. ක්‍රිස්‌තුස් වහන්සේ ගේ උපත සිදු වූ දිනය විශේෂයෙන් ම බටහිර ජනතාව කාල වකවානු ගණනය සදහා යොදාගනිති. එනිසා කිතු උපතින් පසු ගත වූ වර්ෂ ගණනය වන්නේ ක්‍රිස්‌තු වර්ෂ ලෙස ය. ඊට පෙර වූ කාලය ක්‍රිස්‌තු පූර්ව (BC-Before Chirst) ලෙස හැඳින්වේ.
ගී්‍රක ගෝත්‍රික දින දසුනට අනුව ක්‍රිස්‌තු පූර්ව (BC) මෙන්ම දෙවිදුන් ගේ වර්ෂයේ සිට (in the years of Lord or Anno Domini- AD) යන්න ද භාවිතයට ගැනේ. Anno Domini-AD යන්න ලතින් භාෂාවේ වචනයකි. ක්‍රිස්‌තුස් වහන්සේ ගේ උපතේ සිට ගත වන කාලය මෙලෙස හැදින්වේ. ඉහත සදහන් කළ පරිදි Anno Domini-AD යනු ක්‍රිස්‌තු වර්ෂ යන්න ම වේ. ක්‍රිස්‌තු වර්ෂ (AD) ගණනය අනාගතයට සංඛ්‍යාත්මකව වැඩි වන අතර, ක්‍රිස්‌තු පූර්ව (BC) වර්ෂ ගණනය සංඛ්‍යාත්මකව අතීතයට වැඩි වේ. ඒ අනුව ක්‍රිස්‌තු පූර්ව 200ට වඩා ක්‍රිස්‌තු පූර්ව 400 පැරැණි ය.
අමා මෑණි තිලෝගුරු බුදුරජාණන්වහන්සේ ගේ තෙමගුල සිදු වූ කාල වකවානුව ක්‍රිස්‌තු පූර්ව ලෙස හැදින්විය හැකි ය. උන්වහන්සේ ගේ උපත ක්‍රිස්‌තු පූර්ව 623 දී ද පරිනිර්වාණය ක්‍රිස්‌තු පූර්ව 542 දී ද සිදු විය. එහෙත් බෞද්ධ ජනතාව විසින් උන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට කාල වකවානු ගණනය කිරීම බුද්ධ වර්ෂ ලෙස සිදු කරනු ලැබේ. මේ ගත වන්නේ බුද්ධ වර්ෂ 2557 වැන්නයි.
ගී්‍රක ගෝත්‍රික දින දසුන අද ලොව බහුල ව ම භාවිත වන දින දසුනයි. අටවැනි ග්රීසගෝරී පාප්වහන්සේ ක්‍රිස්‌තු වර්ෂ 152 දී මේ දින දසුන ලොවට ඉදිරිපත් කළ අතර ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස එනමින් හදුන්වනු ලැබේ. මෙයට අනුව ආසන්න වශයෙන් දින 365ක් වර්ෂයකට අයත් වන අතර සෑම වර්ෂ තුනකට පසු දින 366කින් යුක්‌ත අධික වර්ෂයක් පැමිණෙන්නේ එක් වර්ෂයක දී ඇති වන සතියක (නමුත් ගණනය නො වන) කාලය ගැලපීම සදහා ය. පෘථිවිය සූර්යයා වටා වන චලිතය පදනම් ව සකස් වූවක් බැවින් මෙය සූර්ය දින දසුනක් සේ සදහන් කෙරෙයි. මෙහි වසරක කාලය මාස 12ට බෙදා දක්‌වනු ලබන අතර එක් එක් මාස සදහා රෝම දෙවිවරුන් ගේ නම් යොදා ඇත. දිනකට පැය 24ක් ඇති අතර එක් පැයක් මිනිත්තු 60ට ද, මිනිත්තුව තත්පර 60ට ද බෙදා ඇත. ඒ අපරදිග දින දසුනයි.
පෙරදිග දී කාල වකවානු නිර්ණය කෙරුණේ චන්ද්‍රයා පෘථිවිය වටා වූ භ්‍රමණය පදනම් කරගෙන ය. පෙරදිගට පූර්ණ චන්ද්‍රයා දර්ශනය වන දින මාසය පටන්ගන්නා අතර ඊළඟ පූර්ණ චන්ද්‍රයා දිස් වන දිනට පෙර දිනෙන් එම මාසය අවසන් වේ. එවිට මසකට දින 27ක් හෝ 28ක් විය යුතු ය. බුදුන් වහන්සේ උපත ලැබුවේ ද, බුදු වූයේ ද, පිරිනිවන් පෑවේ ද මෙවන් වූ පූර්ණ චන්ද්‍රයා අහසේ දිස් වූ දිනවල දී ය. චන්ද්‍ර මාස ගණනයේ දී ද වසරකට මාස 12ක් සේ සලකන්නේ නම්, බුදුන් වහන්සේ ගේ බුද්ධත්වය සිදු වී වසර 2557කට වඩා වැඩි විය යුතු ය.
ලාංකිකයන්/සිංහලයන් ගේ සාම්ප්‍රදායික කාල වකවානු ගණනය වූයේ චන්ද්‍ර මාස ක්‍රමයට ය. එහි දී දිනක් පැය හැටකට බෙදුණු අතර එය දහවල පැය 30ක් ද රාත්‍රි පැය 30ක් ද විය. මෙය වරුවක් ලෙස ද හැදින්වේ. සිංහල පැයක් යනු වර්තමාන ගණනයට අනුව මිනිත්තු 24කි.
මෙලෙස සලකන කල මේ සියල්ල සාපේක්‌ෂ කාල නිර්ණ ක්‍රම වේ.
ලෝකයේ මෙවැනි සුවිශේෂී සිදුවීම් මූලික කරගත් කාලය ගණනය කරන ක්‍රම විධි බොහෝ ය. සමහර ක්‍රම එම රටට, ජාතියට, සංස්‌කෘතියට අනන්‍ය වූවකි. මේ සාපේක්‌ෂ ක්‍රමවේද බොහොමයක් මානව සංස්‌කෘතීන්හි අරම්භයත් සමග ඇති වූ ඒවා වේ. එක් එක් සංස්‌කෘතීන්වල දී සනිටුහන් වන සුවිශේෂී ද්‍රව්‍ය නිෂ්පාදන ද මේ සාපේක්‌ෂ කාල නිර්ණයේ දී යොදාගැනේ. උදාහරණයක් ලෙස එක් එක් රජ පෙළපත්වල දී භාවිත වන කාසිවල අනන්‍යතාව පදනම් ව කාලය නිර්ණය කල හැකි ය. පුරාවිද්‍යාවේ දී ඉතා බහුලව යොදාගන්නා මේ ක්‍රමය විශේෂයෙන් ම කැණීම්වල දී හමු වන දෑ අතීත කාලයෙහි පිහිටුවීම සදහා ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය නිශ්ශංකමල්ල රජතුමා ගේ කාලයේ එතුමා ගේ නමින් නිෂ්පාදිත කාසිය පවතින හෝ හමු වන අදාළ කැණීමේ අදාළ අවසාදිත ස්‌තර එම කාලයට අයත් යෑයි නිගමනය කෙරෙයි. එලෙස ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් ඉහළ ශිලා යුගය (upper paleolithic) සදහා සාක්‌ෂි වේ.
මානව ශිෂ්ටාචාරයේ විවිධ අවස්‌ථා කාලය සමග සැසදීමේ දී මෙවැනි දින දසුන් ප්‍රයෝජනවත් වුවත් වර්තමාන ඉතිහාසයෙන් ඔබ්බට සිදු කරන කාල නිර්ණයේ දී වැදගත් වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ය. විද්‍යාත්මක කාල නිර්ණය මානව ශිෂ්ටාචාරයේ අවස්‌ථාවන් ද, ඔහු ගේ විකාශනය ද, ජීවීන් ගේ විකාශනය ද, අනෙකුත් භෞතික ලෝකයේ විවිධ අවස්‌ථා ද සිදු වූ කාල වකවානු මතු කරගැනීම සදහා යොදාගනී. මේ වන විට විද්‍යාත්මක කාල නිර්ණ ක්‍රමවේද බොහොමයක් සොයාගෙන ඇත. මේ ක්‍රමවේද භාවිතය අවස්‌ථානුකුල වේ. එනම් ඔබට ලැබෙන්නා වූ භෞතික ද්‍රව්‍යයක් මත ක්‍රමවේදය තීරණය කෙරෙයි. විද්‍යාත්මක කාල නිර්ණ ක්‍රමවේද නිරපේක්‌ෂ වේ. බොහොමයක් කාල නිර්ණ ක්‍රමවේද විකිරණශීලී ද්‍රව්‍ය මත පදනම් වේ.
කාබන් කාල නිර්ණ ක්‍රමවේදය අප බොහෝ දෙනා අතර ජනප්‍රියතම එක් ක්‍රමයකි. කාබන් මූලද්‍රව්‍යය සතු ස්‌ථායි සමස්‌ථානික දෙකකි. (සමස්‌ථානික යනු එක ම මූලද්‍රව්‍යයේ බරින් අසමාන පරමාණු වේ). ස්‌කන්ධ ක්‍රමාංක අනුව ඒවා C12 සහ C14 ලෙස හදුන්වන අතර කාල නිර්ණයේ දී වැදගත් වන්නේ විකිරණශීලී C14 ය. කාබන් C14 සමස්‌ථානිකයෙහි අර්ධ ආයු කාලය අවුරුදු 5700ක් පමණ වේ. එනම් එය අවුරදු 5700ක දී මුලින් තිබූ ප්‍රමාණයෙන් අර්ධයක් බවට පත් වන බවයි. මෙය වන්නේ එය නිරන්තරයෙන් ම විකිරණ නිකුත් කරමින් N14 බවට පත් වීමෙනි. ස්‌වාභාවික වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් (අම්ලකර වායුව) වායුව මේ සමස්‌ථානික දෙකෙන් ම සමන්විත වේ. ප්‍රභාසංශ්ලේෂී ශාක අම්ලකර වායුව උරාගෙන නිෂ්පාදනය කරන්නා වූ පිෂ්ටයේ ද මේ සමස්‌ථානික දෙක ම අඩංගු වේ. වායුගෝලයේ ඇති නයිට්‍රජන් (N14) වායුව කොස්‌මික් (අන්තරීක්‌ෂ) කිරණ ඝට්‌ටනය හේතුවෙන් නිරන්තරයෙන් ම C14 සමස්‌ථානිකය යාවත්කාලීන වන බැවින් ශාක තුළ C12:C14 අනුපාතය නියත ව තිබේ. ආහාර දාම ඔස්‌සේ සතුන් ගේ ද ශරීරගත වන මේ පිෂ්ටය C12:C14 අනුපාතය නියත ව පවත්වාගනියි. එහෙත් ජීවීන් ගේ මරණයෙන් පසු පිෂ්ටය නිපදවීම හෝ ආහාරගැනීම සිදු නො වන නිසා C12:C14 අනුපාතය රැකගත නොහැකි වේ. C14 සමස්‌ථානික නිරන්තරයෙන් ම ක්‌ෂය වෙමින් පවතින නිසා C12:C14 අනුපාතය බිඳ වැටේ. එනිසා මරණයට පත් වූ ජීවීන් තළ වූ C14 ප්‍රමාණාත්මකව අඩු වීම ගණනය කිරීමෙන් එම ද්‍රව්‍යයේ වයස ගණනය කළ හැකි ය. කාබන් කාල නිර්ණය සදහා බොහෝ විට කාබනික ද්‍රව්‍ය තිබීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මුහුදු බෙල්ලන් වැනි හුණුමය ද්‍රව්‍යවලින් සුසැදි දෑහි ද මේ ක්‍රමවේදයෙන් කාල නිර්ණය කළ හැකි වේ. මේ ක්‍රමවේදය භූගත ජලයෙහි වයස නිර්ණය කිරීමට ද යොදාගනී. මෙමගින් අවුරුදු 80,000ක් පමණ පැරැණි ද්‍රව්‍යයක කාල නිර්ණය කළ හැකි ය. විලාඩ් ලිබි (Willard Libby) නමැති ඇමෙරිකානු විද්‍යාඥයා 1949 දී මේ ක්‍රමවේදය ලොවට ඉදිරිපත් කළ අතර ඒ සදහා 1960 දී නොබෙල් ත්‍යාගය හිමි කරගත්තේ ය. මේ ක්‍රමවේදය භාවිතයෙන් ලංකාවේ බුලත්සිංහල පාහියන්ගල ගල් ගුහාවෙන් හමූ වූ මානව හිස් කබල වසර 37000ක් පමණ පැරැණි බව සොයාගැනිණි.
භූ කාල දර්ශකයට අනුව ලෝකයේ නූතන මානව විකාශනය සිදු වන්නේ චාතුර්ථ කාල වකවානුවේ දී ය. මේ කාලය ආරම්භ වන්නේ අදින් වසර මිලියන දෙකකට පමණ පෙර ය. මේ කාලයේ දී සිදු වූ බොහොමයක් සිදුවීම් කාබන් කාල තාක්‌ෂණයෙන් නිර්ණය කළ නොහැකි ය. මේ සදහා බහුලව යොදාගන්නා තව කාල නිර්ණ ක්‍රමවේදයක් වන්නේ සන්දීප්තතා
(Lumincense) කාලනිර්ණ ක්‍රමවේදයයි. මෙමගින් ප්‍රධාන ව පසෙහි, අවසාදිත හෝ ඒ ආශ්‍රිත ද්‍රව්‍යවල වයස නිර්ණය කළ හැකි ය. පරිසරයේ පවතින විකිරණශීලී මූලද්‍රව්‍ය හේතුවෙන් වන විකිරණයෙන් ඒ ආශ්‍රිත ද්‍රව්‍ය විකිරණ ශක්‌තිය ගබඩා කරගනී. කාලයත් සමග මේ ප්‍රමාණය වැඩි වන අතර, අවසාදිත හෝ පසෙහි පවතින තිරුවාණ වැලි කැටවල මේ ශක්‌තිය ඉතා හොඳින් ගබඩා වේ. එහෙත් හිරු එළියට හෝ අධික රත් වීමකට හෝ ලක් වුව හොත් ගබඩා වූ එම ශක්‌තිය හානි වන අතර බොහෝ විට ශුන්‍ය වේ. එනිසා අවසාදිතවල තැන්පත් වන වැලි කැට නැවත හිරුඑළියට නිරාවරණය නො වන ලෙස ලබාගත හැකි නම් කාල නිර්ණය සදහා යොදාගත හැකි ය. මේ ක්‍රමයේ දී සිදු කරන්නේ එලෙස ලබාගන්නා වැලි කැට කෘත්‍රිමව උත්තේජනය කර ගබඩා වූ ශක්‌තිය විමෝචනය කරවීමයි. එලෙස විමෝචනය වන ශක්‌තිය ගණනය කර එම වැලි කැට ලබාගත් අවට පරිසරයේ ඇති විකිරණශීලීතාව හා සංසන්දනයෙන් වැලි කැටවල වයස නිර්ණය කළ හැකි වේ. උත්තේජනය සදහා ක්‍රම දෙකක් යොදාගනී. එක් ක්‍රමයක් වන්නේ ආලෝකයෙන් උත්තේජනය කිරීමයි. එවිට මෙය ආලෝක සන්දීප්තතා ක්‍රමය (Optically Stimulated Lumincense Technique) ලෙස ද උත්තේජනය සදහා තාපය යොදාගත් විට තාප සන්දිප්තතා ක්‍රමය (Thermally Stimulated Lumincense Technique) ලෙස ද හැදින්වේ. පුරවිද්‍යාවේ දී ද ප්‍රග් කාලගුණ (Paleoclimate) අධ්‍යයනයේ දී ද මේ කාල නිර්ණ ක්‍රමවේදය භාවිත වන අතර දල වශයෙන් අවුරුදු මිලියන 2ක් පමණ වූ පැරැණි ද්‍රව්‍යවල කාලය නිගමනය කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළෙහි වැලි කඳු පවතින බුන්දල ප්‍රදේශය නිර්මාණය වී ඇත්තේ මෙයට වසර 80000කට පමණ පෙර බව එහි වැලිකැට මේ ක්‍රමයෙන් කාල නිර්ණය කිරීමෙන් නිගමනය කර ඇත.
පොටෑසියම් (K) නම් වූ මූලද්‍රව්‍යය ද පොළොවෙහි බහුලව හමු වන මූලද්‍රව්‍යයකි. විශේෂයෙන්ම අවසාදිත වළං මැටිවල, මයිකා වැනි ඛනිජවල මේ මූලද්‍රව්‍යය පවතී. පොටෑසියම්වල ද ස්‌ථායි සමස්‌ථානික 3කි. මෙහි දී විකිරණශීලී මූලද්‍රව්‍ය වන්නේ K40 ය. එය වියෝජනය වන විට සාදන දරු මූලද්‍රව්‍යවලින් 90%ක් ම Ca40 වන අතර ඉතිරිය Ar40 වේ. මේ ලෙස සෑදෙන කැල්සියම් (Ca) සහ ආගන් (Ar) පරමාණු ඛනිජ ස්‌ඵටිකයේ රැෙදයි. විශේෂයෙන් ආගන් නිෂ්ක්‍රීය වායුවක් බැවින් නැවත ප්‍රතික්‍රියා නො දැක්‌වීමත් ස්‌ඵටික දැලිසට වඩා විශාල නිසාත් දැලිස තුළ රැෙදනු ඇත. මෙලෙස රැෙදන ආගන් උෂ්ණත්වය සහ පීඩනය වැඩි කළ විට ඉතා පහසුවෙන් නිදහස් වේ. බොහෝ විට පාෂාණ ද්‍රව වී මැග්මා සැදීමේ දී මෙලෙස සෑදුණු ආගන් ඉවත් වේ. එනිසා මැග්මා ඝනීභවනය වීමෙන් පසු ආග්නේය පාෂාණ තුළ ඇති පොටෑසියම් නව චක්‍රයක් ආරම්භ කරයි. එමෙන් ම විපරීතකරණයේ උච්ච් අවස්‌ථාවේ දී ද මෙලෙස පාෂාණ පාර්ශ්වික ව ද්‍රව වන නිසා මිග්මටයිට් පාෂාණ සදහා ද මේ ක්‍රමවේදය භාවිත කළ හැකි ය. ණ40හි අර්ධ ආයු කාලය 1,248 000 000 (වසර මිලියන 1248)කි. අවුරුදු 100000කට වඩා පැරැණි පාෂාණවල කාල නිර්ණය සදහා ඉතා සුදුසු මේ කාලනිර්ණ ක්‍රමවේදය, පුරාවිද්‍යාවේ දී ආගනේය ක්‍රියාකාරිත්වය හා සබැදුණු ද්‍රව්‍ය සහ සිදධීන්වල කාලය නිගමනය කිරීම සදහා යොදාගනී.
ජනප්‍රිය චරිතයක් වූ, මානව වංශ කතාවේ පැරැණි ම පුරුකක් වන ලුසී, නම් ප්‍රාග් ධාතුවෙහි (Fossil) වයස වසර මිලියන 3.22ක් පමණ වන බව නිර්ණය කෙරුණේa ද මේ ක්‍රමවේදයෙනි.
මේ ක්‍රමවේදයට අමතරව තවත් විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිත වන කාල නිර්ණ ක්‍රමවේද බොහොමයක් වේ. සමෙරියම්-නියෝඩිමම් (Sm-Nd) ක්‍රමවේදය, රුබිඩියම්-ස්‌ට්‌රොන්චියම් (Rb-St) ක්‍රමවේදය, යුරේනියම්-ලෙඩ් (U-Pb) ක්‍රමවේදය සහ යුරේනියම්-තෝරියම් (UTh) ක්‍රමවේදය මේ අතර ප්‍රධාන වේ. මේ සියල්ල යොදාගැනීමට හැකි වී ඇත්තේ පාෂාණවල වයස නිර්ණය සදහා ය. මෙමගින් උල්කාෂ්ම කැබැලි සහ අභ්‍යවකාශයෙන් ලබාගන්නා ලද පාෂාණ නියෑදි මෙන්ම සඳෙහි සහ අඟහරු වැනි ග්‍රහකවලින් ලබාගත් පාෂාණ නියෑදිවල ද වයස නිර්ණය කළ හැකි වේ.
මේ ක්‍රම මගින් සිදු කළ කාල නිර්ණයන් මගින් සඳෙන් ලබාගත් පාෂාණ නියෑදි වසර බිලියන 3.48 සිට වසර බිලියන 4.5ක් දක්‌වා පමණ පැරැණි බව සොයාගෙන ඇත. ලෝකයේ පැරැණි ම පාෂාණ වසර බිලියන 4.45ක් පමණ වන බව 2013 දී චීනයේ පාෂාණ පිළිබඳව කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත. ලාංකීය භූ තලය ද මේ ආකාරයට කාල නිර්ණය කල ඇති අතර මෙහි මධ්‍යයේ වූ පාෂාණ වසර මිලියන 2100ක් පමණ ද අනුරාධපුර සහ හම්බන්තොට ප්‍රදේශයේ ඇති පාෂාණ වසර මිලියන 1100ක් පමණ වයසැති බව සොයාගෙන තිබේ. මෙලෙස ලෝකය ආරම්භයේ සිට ම ඇති වුණ සංසිද්ධීන්වල කාලය නිර්ණය කර ඇති අතර ක්‍රමානුකුලව පෙළගස්‌වා ඇත. මේ සදහා කදිම සටහනක් විද්‍යාඥයන් සකස් කර ඇති අතර එය භූ කාල දර්ශකය (Geological Timescale) නම් වේ.
පත්මකුමාර ජයසිංහ
විද්‍යා, තාක්‌ෂණ සහ නවෝත්පාදන ලේකම් කාර්යාලය
Labels:
TOP DANUMA
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment