කොස්වලින් කොත්තු රොටී
තේ කොළ වෙනුවට කොස් කොළ
අපේ රටට කොස් සම්පතකි. ඒත් ඒ සම්පතෙන් ප්‍රයෝජන ගන්නෝ අල්පයකි. කොස් පිටිකර වර්තමානය වනවිට පාන්, බනිස්, ඉඳිආප්ප නිෂ්පාදනයට යොදා ගනී.
මේ උදාර කාර්යය කිරීමට ‘වීර්ය සේවා සංසදය’ පෙරමුණ ගත්තේ කොස්වලින් ඔබත්, මමත් නොසිතූ ආහාර ද්‍රව්‍ය රැසක් හඳුන්වා දෙමින්ය. රඹුක්කන වීර්ය සේවා සංසදය කොස්වලින් කෑම වර්ග හතළිස් පහක් පමණ නිෂ්පාදනය කර තිබේ.
මීට පෙර කොස් ඇටවලින් කොස් පිටි නිෂ්පාදනය කළ මේ ආයතනය අද කොස් මදුළුවලින් කොස් පිටි නිෂ්පාදනය කරයි. මුරුක්කු, අලුවා හා පෑන්කේක් නිපදවිය හැකි කොස් පිටිවලින් අද ඉඳිආප්ප බනිස් වැනි ආහාර පවා නිපදවයි.
මේවා තනිකරම කොස් පිටිවලින් නිපදවීම අසීරු බැවින් හාල්පිටි හෝ කුරහන් පිටි යම් ප්‍රමාණයකින් යෙදිය යුතුවේ.
වතුර ඉවත්වෙන තෙක් වේළාගත් කොස් මදුළු කොස් පිටි සෑදීමට යොදා ගනියි. සාමාන්‍ය ජලය ඉවත් කිරීමකට වඩා වැඩියෙන් ජලය ඉවත් කිරීමක් මෙහිදී සිදුවේ.
ඉන්පසු ලැබෙන තද කොස් මදුළු යන්ත්‍රානුසාරයෙන් පිටිකරයි. කොස්මදුළු පිටි, පාන් නිපදවීමට පවා සුදුසු බව අලුත් පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. කොස් ඇට පිටි තනිකර සුදුපාටය.
කොස් මදුළු පිටි ළා කහ පාටය. කොස්වලින් කොත්තුරොටි ද සකස් කරගත හැකිය.
වීර්ය සේවා සංසදය විවිධ කොස් නිෂ්පාදන 40-50 ක් විතර ප්‍රමාණයක් මේ වෙනවිටත් සකස් කර තිබේ.
ඉවත දැමීමට තරම් දෙයක් කොස්වල නැත. දියවැඩියාවට සුවය ගෙනෙන කොස් කොළවලින් කොස් කොළ පැකට් සාදා තේ ලෙස පානය කළ හැකිය. අතපයවල අමාරුවලට ද කදිම ඔසුවකි.
පොළොස්වලින් මේ ස්ථානයේදී ආහාර වර්ග දහයක් දොළහක් සාදා ඇත.
ජලය ඉවත් කළ පොළොස්, පොළොස් අච්චාරු, පොළොස් පැහි, පොළොස් රට ඉඳි අච්චාරු, පොළොස් සම්බෝලය මේ අතර ප්රමුඛ ස්ථානය ගනියි.
වීර්ය සේවා සංසදය තවමත් වාණිජ මට්ටමින් මේවා නිපදවන්නේ නැත. නිපදවීම සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණුවක් ලබාදීමට කටයුතු කරයි.
මේ නිපදවුම් රටට හඳුන්වාදීමට අවශ්‍ය මූලික උපකරණවත් තවම නැති නිසා වීර්ය සංසදය අපහසුතාවයකට මුහුණ පා සිටියි. වීර්ය සේවා සංසදයේ පොළොස් නිෂ්පාදන අතර අලුත්ම ආහාර වර්ගය ගැට පොළොස් පේස්ට්ය.
උදෙන්ම පාන්පෙති වල ගා ආහාරයට ගතහැකි පොළොස් පේස්ට් ආප්ප හා පිට්ටු සමඟ ද ආහාරයට ගත හැකිය. මීට අමතරව නොයෙක් ආකාරයේ රසවත් ආහාර කොස්වලින් සාදාගත හැකිය.
කොහෙල්ලෑ බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසුදුවට ගත් කොහෙල්ලෑ ස්වල්පයක්
රතුලූනු ගෙඩි 10
උම්බලකඩ මේස හැඳි 2
අමු මිරිස් කරල් 5
කැකුළු හාල් මිටක්
රම්පෙ කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1/2
සාදන ක්‍රමය
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා සුද්ද කරගත් පොලොස් ගෙඩියක්
ගම්මිරිස් කුඩු
ලුණු
බැදීමට තෙල්
පාන් කුඩු
බිත්තරයක්
සාදන ක්‍රමය
තම්බා කටුව සුද්ද කරගත් පොළොස් ගෙඩියක කුඩා කැබැලිවලට කපාගන්න. (පෙති වශයෙන්) ඊට පසු එම කැබැලිවලට ලුණු සහ ගම්මිරිස් කුඩු කලවම් කරන්න. දැන් බිත්තර සුදුමද හොඳින් පෙන නඟින සේ ගසා ගන්න. කලින් සකසාගත් පොළොස් පෙති බිත්තර සුදුමදයෙහි දවටා පාන් කුඩුවල තවරා තෙලෙන් බැදගන්න.
No comments:
Post a Comment