ආදරය නැති දා පූජකවරය තෝරාගත් ප්‍රැන්සිස් පාප්තුමා
දුප්පත්කම ආජන්ටිනාව වෙළාගෙන තිබිණි. බැලු බැලු අත ඒ දුප්පත්කමට අලගු තබන දේ මිස ඉන් ගොඩ ඒමක් පේන මානයක නොවිණි. උදාවෙමින් තිබුණේ 1936 අවුරුද්දේ නත්තලයි.
දෙසැම්බර් 17 වැනිදා නත්තලට තවත් දවස් අටක් තිබියදී ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පදිංචි රෙජිනා බර්ග්ගෝලියෝ සිය කුලුඳුල් දරුවා බිහි කළාය.
හේ පුතෙකි. සුදෝ සුදු හිම බෝලයක් වැනි සිඟිත්තා එතරම් කලබලකාරයකු නොවන බව රෙජිනාට වැටහිණි. කුලුඳුලේ උපන් පුංචි පුතුට රෙජිනාත් ඇගේ සැමියාත් ‘ජෝර්ජ්’ ලෙස නම් තැබීය.
අත පය ගසා හිනැහෙන, ඇස් කරකවා මොනවදෝ හොයන සිය පුංචි පුතු දිනෙක ලොව කතෝලික ජනයා පාලනය කරන පාප්තුමකු වේ යැයි ඒ මොහොතේ ඇය සිහිනෙනුදු නොසිතුවාය.
රේල්ලුවේ කාර්මිකයකු වූ මාරියෝ, උසස් වැටුපක් නොලැබුව ද උසස් වැඩ කරන පන්තියට අයත් විය. 1926 අවුරුද්දේ ඔහු සිය බිරිය රෙජිනා සමඟ ආජන්ටිනාවට පැමිණියේ, විවාහ වූ අලුත පදිංචිව සිටි ඉතාලියේ පිග්මොන්ට් නගරයේ සිටය.
ගෘහිණියක හා මවක ලෙස ඈ නිවෙසට වී පුංචි ජෝර්ජ් බලා කියා ගත්තාය. ජෝර්ජ්ට පසු උපන් ඇල්බටෝ ගොරාඩියෝ, මරියා එලීනා ඔස්කා ඒඩ්‍රියන් සහ මාර්තා රෙජිනා නිසා, රෙජිනාත් මරියෝත් පස් දරු මවුපියන් බවට පත්වූහ.
රේල්ලුවෙන් ලැබෙන කාර්මිකයකුගේ පුංචි වැටුප, හැදෙන වැඩෙන දරුවන් පස් දෙනකු සහිත මේ බරපතළ පවුලේ බඩගින්න නිවන්නට කොහෙත්ම සෑහුණේ නැත.
දරු පස් දෙනාට අලුත් ඇඳුමක් අරන් දීම ඇයට සිහිනයක්ම විය. ඉරුණු ඇඳුම්... කැඩුණු සපත්තු, ඈ සියතින්ම පිළිසකර කර දරුවන්ට යළි යළිත් ඇන්දුවාය. පැලැන්දුවාය.
නැති බැරි වූ, නොහැකි වූ හුඟක් දේට මුහුණ දෙමින් ජීවිතය ගලා ගිය ද පවුලක් ලෙස ගෙවූ ජීවිතය සතුටින් පිරී තිබිණි. ලද දෙයින් සෑහීමට පත්වන්නට වූ ජීවිත පුරුද්ද සහ හොඳ ගතිගුණ නිසාම බුවනෝස් අයර්ස් හි සිටි පවුල් අතර ඔවුන් වෙනස් පවුලක් විය.
පිඟානේ ඉතිරි නොකර කෑම කා අහවර කරන්නත් කෑම විසි නොකරන්නත් රෙජිනා දරුවන්ට හුරු කළාය. සිය පිඟන් තමන් විසින්ම සෝදා ගත යුතු විය. රෙජිනා හැකි සෑම විටම දරුවන්ට රසවත් ඉතාලියානු කෑම හදා දුන්නාය. ඈ සැමියාට ද ඒවා හදන්නට ඉගැන්වූවාය.
සිය අම්මා තාත්තා මෙන්ම ෆ්‍රැන්සිස් පාප්තුමන් ද පසු කලෙක රසවත් ලෙස ආහාර පිසින සූපවේදියකු ලෙස ප්‍රචලිත විය.
වසර 60 ක් එංගලන්තය පාලනය කළ වික්ටෝරියා රැජින එසමයේ ආජන්ටිනාවේ ද පාලිකාව වූවාය. ආගම දහමට නැඹුරුව, සකසුරුවම වික්ටෝරියානු පාලනයේ ප්‍රධාන ලක්ෂණය විය. වික්ටෝරියානු ක්‍රමයට ජීවිතය හැඩ ගස්සවා ගැනීමට ජනයාට සිදුවිය.
රාත්‍රියේ ගුවන් විදුලියේ යන ඔපෙරා සංගීතයකට කන් දී එය විඳින අම්මා දුටු විට, ජෝර්ජ් ලොකු පුතු ද අම්මාගේ ඔඩොක්කුවේ තුරුලුව ඒ සංගීතය විඳින්නට පුරුදු වූයේය.
“අදත් මට ඒ මතකය හරිම ආදරණීයයි. ඒ මොහොතේ අම්මගේ මුහුණේ තිබූ ශාන්ත හිනාව තවමත් මට මැවිලා පේනවා...” පාප්තුමන් පසු කලෙක ඒ සොඳුරු අත්දැකීම ගැන එසේ කියා තිබිණි.
බුවනෝස් අයර්ස්හි පෝසතුන්, දුප්පතුන් දෙස ඔරවා බැලීම සහ ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ජෝර්ජ් පුතුගේ සිත මහත් සේ රිදවීය.
තමන්ට වඩා දුක්විඳින, හම ඇටකටුවලටම ඇලුණු, ඇට බේරුණු පොඩිවුන් දකින විට ඔහුගේ සිත කඩා වැටිණි. එහෙත් දුක් වනවා විනා තමන්ට ද උදව් කරන්නට තත්ත්වයක් නැති බව අවුරුදු දහතුනක්වත් වයස නැති ජෝර්ජ් පුතුට එදා තේරුණේ නැත.
වංශවත් උදවියගෙන් ඈත්වන්නටත් ඒ තරමටම දුප්පතුන් ගැන හිතන්නටත් ඔහු පෙලඹුණේය.
ඒ වන විට රෙජිනා අංශභාග රෝගයට ගොදුරුව පීඩා වින්දාය. අවුරුදු 14 ක්වත් නැති ජෝර්ජ් පුතුට, නංගිලා දෙදෙනාත් මල්ලිලා දෙදෙනාත් අම්මාත් වෙනුවෙන් තාත්තා විඳිනා දුක හොඳහැටි පෙනිණි.
ගෙදර වියදම පිරිමසන්නට ජෝර්ජ්, ‘පාට් ටයිම්’ රැකියාවක් හොයාගත්තේ ඉන් තාත්තාට ද යම් ශක්තියක් දිව හැකි යැයි සිතමිනි. ඒ ඇඟලුම් කම්හලක පුංචි රස්සාවකි. තවත් වසර කිහිපයකට පසු රසායනාගාරයක ආහාර තත්ත්ව පාලන රැකියාවක් ලැබිණි. උදය වරුවේ රැකියාවේ යෙදෙන ජෝර්ජ් රාත්‍රී කාලයේ අධ්‍යාපන කටයුතුවල නියැළුණේය.
රාමොස් මෙජියා නගරයේ පිහිටි විල්ෆ්‍රඩ් බරොන් ඩි ලොස් සාන්තොස් ආන්ජලෙස් සැලේෂියානු විදුහලේ සිට උසස් කාර්මික විදුහලකට ඇතුළු වන්නට ජෝර්ජ්ට හැකි වූයේ ඒ අනුවය. අවසානයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබා ගත්තේය.
‘අමාලියා’, ජෝර්ජ්ගේ මිතුරු සමාගමේ සිටි සමීපතම යෙහෙළියයි.
ඒ මිත්‍රත්වය කෙතරම් සමීප වී ද යත් ජෝර්ජ් සහ අමාලියා පෙම්වතුන් බවට පත්විය. මිලොන්ගා සංගීතයටත් ටැංගෝ නැටුමටත් වඩාත් ආසා කළ ජෝර්ජ් හැබෑවටම ටැංගෝ නැටුමේ දක්ෂයෙක් විය. ඔහු නටන බොහෝ අවස්ථාවල අමාලියා ඇගේ නැටුම් සහකාරිය වූවාය. බලා සිටින්නවුන් ‘පිස්සු වට්ටන’ තරමට ඒ නැටුම මනරම් විය.
‘දවසක ඔබ මා හා විවාහ නොවුණොත් මා පූජකවරයට යනවා...’ ජීවිතය පිළිබඳ ගැඹුරක් නොදැනෙන යෞවනයේදී එසේ කියූ ජෝර්ජ්, දිනෙක සැබැවින්ම දේව සේවය ජීවිතයට තෝරා ගත්තේය.
‘මා එදා ජෝර්ජ් හා විවාහ වූවානම් අද මෙවැනි පාප්තුමෙක් ලොවට බිහිවන්නේ නැහැ. දෙවියන් අපව වෙන් කළේ ලොවම එක් කරන්නයි...’ තමන් ආදරය කළ ජෝර්ජ්, ශුද්ධෝත්තම පාප්තුමන් ලෙස පත්වූ පුවත දැනගත් වහාම, ලෝක ජනමාධ්‍ය අමතා අමාලියා කියා සිටියාය. දැන් ඇය ද ආච්චි අම්මෙකි.
බුවනෝස් අයර්ස් නගරයේ එකල ජනප්‍රියම ශාන්ත ලොරෙන්සෝ ඩි අල්මග්‍රෝ පාපන්දු කණ්ඩායමේ ජව සම්පන්න ලෙස ක්‍රීඩා කළ සිය ආදරණීය ජෝර්ජ්, දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු බවත් අමාලියා සතුටින් සිහි කළාය.
1957 අවුරුද්දේ දරුණු නිව්මෝනියාවකට ගොදුරු වන විට ජෝර්ජ් යනු, දෙව් සත්හලේ පුහුණු වන පූජක තුමෙකි. අවසානයේ එක් පෙණහැල්ලක් ඉවත් කරන තරමට රෝගය උත්සන්න වූයේය.
අවුරුදු 14 ක් වත් නැති කුඩා වයසේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩ කරද්දී නොසෑහෙන සේ වැදුණු දුම් හෝ රසායන ද්‍රව්‍යවල බලපෑම මේ ආසාදනයට යම් හේතුවක් වන්නට ඇත. එදා පටන් එක් පෙනහලුවකින් ජීවත් වන්නට සිදු වුවද ජීවන අරගලයේදී මවුපියන් විඳි දුක දරාගත නොහැකි වූ කුඩා දරුවකු ලෙස ගත් එඩිතර තීරණය පිළිබඳ උන්වහන්සේ අද සතුටු වනවා විය හැකිය.
දරුවකු ලෙස දරාගත් ඒ දුක්බර කාල පරිච්ඡේදයටත් වඩා උන්වහන්සේ මානසිකව පීඩා විඳි යුගය උදා වූයේ ජේසුයිටි නිකායේ කලාප ප්‍රධානියා ලෙස වගකීම් දැරු ඒ කාලයේදීය.
ශාන්ත මිගෙල් දෙව් සත්හලින් දේව ධර්මය පිළිබඳ අත්පොත් තැබු එතුමන් 1969 පූජකවරයට පා තැබුවේ ජේසුයිටි නිකායේ පූජක තුමකු ලෙසිනි. අවුරුදු 37 වන විට උන්වහන්සේ ජේසුයිටි කලාපයේම ප්‍රධානියා විය.
ඒ 1976 - 83 යුගයයි. ගෙවී යමින් තිබුණේ ආජන්ටිනාවේ අඳුරුතම යුගයයි. මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වූ බුවනෝස් අයර්ස් හි පාලනය තිබුණේ කර්නල් විඩෙලා යටතේය. එම දේශපාලන අරගලය හැඳින්වූයේ ‘Dirty War’ නමිනි.
ජේසුයිටි සංවිධානයේ මූලස්ථානය, කර්නල් විඩෙලාගේ රහස් ඔත්තු සේවය පවත්වාගෙන යන්නට ඉඩ දුන්නා සහ ඔහුගේ ක්‍රෑර පාලනයට සහාය දුන්නා යැයි උන්වහන්සේට චෝදනා එල්ල විය.
මේ අතර 1970 දශකයේ ඔර්ලාන්ඩෝ යෝරියෝ සහ ෆ්‍රැන්සිස්කෝ ජැලික්ස් තරුණ පියතුමන්ලා පවතින ගැටුම්කාරි වාතාවරණය නොසලකා බෙලේන් - බෙත්ලෙහෙම් නම් මුඩුක්කු ප්‍රදේශවල නිර්දන පාංතික ජනතාව උදෙසා සේවය සඳහා නිතර ආ ගියහ.
මිලිටරි පාලනයට මේ ආරංචිය ගියේ, පියතුමන්ලා නිර්දන පාංතික කැරැල්ලක් සූදානම් කරන බවටයි. පවතින ජීවිත අනතුර සලකා එහි නොයන්නැයි එම කලාපය බාරව සිටි ජෝර්ජ් බර්ග්ගෝලියෝ ප්‍රධාන පියතුමන් කියා සිටිය ද තරුණ පූජක තුමන්ලා හිතුවක්කාරි ගමන නැවැත්වූයේ නැත.
අවසානයේ පෙරළා චෝදනා එල්ල වූයේ ද බර්ග්ගෝලියෝ පියතුමන්ටය. ‘උන්වහන්සේ අපේ ආරක්ෂාව නැති කළා. අපි එහි යන බවට ඔත්තුව දුන්නේ උන්වහන්සේ...’
මේ චෝදනාව පිළිබඳවත් අත්අඩංගුවට ගත් කැරැලි කරුවන්ගේ දරුවන් කර්නල් විඩෙලාගේ හිතවතුන්ට හදාගන්නට ඉඩ දී බලා සිටියා යැයි නැඟු අභූත චෝදනාවත් නිසා උන්වහන්සේ මහත් සේ කම්පාවට පත්විය.
1980 ශාන්ත මිගෙල් දෙව් සත්හල වෙත යළි උන්වහන්සේ යන්නට තීරණය කළේ ඒ දරාගත නොහැකි චෝදනාවලින් හෙම්බත් වූ කලය.
දැරු අගරදගුරු තනතුර හැර දමා ස්ව කැමැත්තෙන්ම හුදෙකලා දෙව් සත්හලකට යෑම පිළිබඳ බොහෝ අය කතා කළේ කැමැත්තෙන් හුදෙකලා වීමක් ලෙසය.
එම කාලය තුළ උන්වහන්සේ සිය ශිෂ්‍ය පියතුමන්ලාට රසවත් ආහාර හදා දුන්නේය. උන්වහන්සේගේ කෑමවල රසය පිළිබඳ දෙව් සත්හල පුරා ආරංචිය පැතිරිණි.
සිසුහු එය අගය කරන විට උන්වහන්සේ කියා සිටියේ, ‘මගේ කෑම හොඳයි කියන්නේ තවම ඒවා කාලා කවුරුවත් මළේ නැතිනිසා...’ යි සිනාසෙමින් පවසමිනි.
බොහෝ දේ සිදුවෙමින් කාලය ගලා ගියේය. 1985 අවුරුද්දේ දවසක උන්වහන්සේ දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පාප්තුමාගේ ජපමාල මෙහෙයකට සහභාගි වූයේය.
‘මෙහෙය මැදදි මගේ කල්පනාව එක පාරටම වෙනස් වුණා. මට ජුවාම් පාවුළු පාප්තුමා දිහා බැලුණා. උන්වහන්සේගේ මුහුණ ශාන්තයි. පෝලන්තයේ දරුවෙක් කොහොම ද මේ තැනට ආවේ... මට නිකමට හිතුණා. උන්වහන්සේගේ තරුණ කාලය මට මැවිලා පේන්න ගත්තා. පියවරෙන් පියවර අඩියෙන් අඩිය ආ ගමන මට හරියට ජීවිතයට සාක්ෂියක් ගෙනැත් වගේ... මට උන්වහන්සේට ඉහළින් වැඩ සිටි දෙව් මවුන් පෙනුණා. ‘ඇයි මං නුඹෙත් මෑණියෝ නෙවෙයි ද...’ දේව මෑණියෝ මගෙන් අහනවා වගේ දැනුණා... මට කල්පනා වුණේ උන්වහන්සේගේ ජීවිතයේ මරි මවුන් වැඩසිටින බව...
එදා පටන් මං ජපමාලයේ අබිරහස් පහළොව මෙනෙහි කළා. ඒ වෙනුවෙන් යාඤා කළා... මගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් මඟක් ගත්තා...’
අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමන් පසු කලෙක කියූ ඒ කතාව තුළින් පැහැදිලි වූයේ උන්වහන්සේගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ ඒ ජපමාල මෙහෙය බවයි. පාප්තුමකු වීමේ මුල් බීජය උන්වහන්සේගේ හදවතට ඇතුළු වූයේ ඒ මොහොතේ වන්නට ඇත.
එදා පටන් උන්වහන්සේගේ ජීවිතය වඩ වඩාත් සරල වූයේය. අන්‍යයන් වෙනුවෙන්ම කැප වූයේය. ඒ බොහෝ දේ සරල ඒවා විය. බිෂොප් පදවියේ දී උන්වහන්සේට දී තිබූ සියලු වරප්‍රසාද තමන් යටතේ සිටි පියතුමන්ලාට ද විඳින්නට දුන්නේය.
හොඳම දේ තමාට ලැබී තිබුණු රාජකාරි දුරකථනයයි. එතුමන් සියලු පියතුමන්ලාට එය පාවිච්චි කිරීමට අවසර දී තිබුණේ කිසිඳු පැකිළීමකින් තොරවය. මහලු වූ ගිලන් වූ පියතුමන්ලා සමඟ කාලය ගත කළේය. තමන්ගේ උදව් අවශ්‍ය ඕනෑම කෙනකු වෙත එය ඉටුකර දීමට උන්වහන්සේ ඉදිරිපත් වූයේය.
එතුමන් යටතේ සිටි සියලු පියතුමන්ලා දුප්පතුන්ට පිහිට වන්නේ කෙසේදැයි දැඩි අවධානයෙන් සොයා බැලීම උන්වහන්සේගේ සිරිත විය. කිසිඳු වේලාවක, එක දිගට පැය දෙක තුනක් උන්වහන්සේ කන්තෝරු කාමරයේ සිටියේ නැත. සෑම තැනෙකම ඇවිදිමින් උන්වහන්සේ දුප්පතුන්ගේ දුකට පිහිට වූයේය. ඒ කෙසේ ද යත් අන්ත දුප්පතුන්ගේ කුස්සියටම ගොස් අවශ්‍ය ආහාරයක් සකසා දුන්නේය.
ජීවිතයේ සුඛෝපභෝගී යැයි යමක් උන්වහන්සේ තවමත් අත්විඳිනවා නම් ඒ ඉඳහිට, ලස්සන නවකතාවක් කියැවීම පමණකි.
උන්වහන්සේගේ සිතෙහි තවමත් වද දෙන කරුණකි. ඒ, එදා ආජන්ටිනාවේ තමන් සමඟ දුක් විඳි දරුවෝ අද වැඩිහිටියන්ව හෝ සැපක් විඳිනව ද... යන සිතිවිල්ලයි.
පාප් ධූරයට ලැබෙන ඉහළ තලයේ වරප්‍රසාද භුක්ති විඳීම ප්‍රතික්ෂේප කරන උන්වහන්සේ තවමත් ඒ සරල චාම් ජීවිතයට ආදරය කරයි.
තමන් පසුපස හඹා එන සියලු මාධ්‍යවේදීන් වෙත සිනහවකින් සංග්‍රහ කරන උන්වහන්සේ, ‘ඉන්ටවිව් නම් එපා...’ යැයි පවසා ඔවුන් ගෙන් සමුගනී.
සාහිත්‍ය සහ මානසික විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇති උන්වහන්සේ ශුද්ධාත්ම භාවය සහ භාවනාව පිළිබඳ පත පොත ලියූවේ කලකට ඉහතදීය. ස්පාඤ්ඤ භාෂාවෙන් උන්වහන්සේ ලියූ ‘ස්වර්ගය සහ පොළොව මත’ ග්‍රන්ථය ලොව ආන්දෝලනයක් ඇති කළේය.
2001 වසරේ මහා බ්‍රහස්පතින්දා දිනයෙක දේව මෙහෙයකදී ඒඩ්ස් රෝගියකුගේ දෙපා සෝදා සිප ගැනීම, ලොව මවිතයට ලක්කළ අවස්ථාවක් විය.
දුප්පතුන්ගේ ජීවිත සමඟ ගොඩනැඟුණු උන්වහන්සේ, දුකත් සැපත් ඉතා හොඳින් විඳි ලෝකයේ එකම ජීවමාන ආගමික නායකයා වන්නේය.
266 වැනි පාප්තුමන් ලෙස අද ලෝක කතෝලික ජනයාගේ ගෞරව ආදරයට පාත්‍ර වන ජෝර්ජ් මාරියෝ බර්ග්ගෝලියෝ පාප්තුමන්, සිය අම්මාගෙත් තාත්තාගෙත් දහඩිය කඳුළුවලට ණය ගෙවූ උතුම් පුතෙකි.
තම සුඛ විහරණය ගැනම සිතනා ඇතැම් ආගමික සහ ජනතා නායකයන්ට සිය ජීවිතයෙන් පූර්වාදර්ශ සපයන උන්වහන්සේ අප මවුබිමට සැපත් වන්නේ මේ පණිවුඩය තවත් රටකට කියා දී යන්නට මෙනි.
No comments:
Post a Comment