Wednesday, January 7, 2015



පැපොල් වනසන පිටිමකුණා සුළඟිනුත් බෝවෙනවා

 
කොළඹ දිස්ති‍්‍රක්කයේ සහ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ගස් සුලබ වශයෙන් පිටි මකුණාගේ හානියට ගොදුරු විය. පැපොල් ගස් ක්‍ෂණිකව පිටි මකුණාට ගොදුරු විය .සාමාන්‍ය පිටි මකුණා මෙන් නොව මේ කෘමියා විශේෂ පිටිමකුණෙකි. බෝග පහළොවකට මේ පිටිමකුණු විශේෂය නිසා හානි පැමිණේ.
ශාකවල ඵලදාවට පමණක් නොව මල් පත‍්‍ර නටු ගෙඩි හා කඳ යන ඕනෑම කොටසකට හානි පැමිණෙයි . සුදු කොට්ට පුළුන් ස්වරූපයක් ගනියි.
හෝමාගම පැළෑටි වෙරස් මධ්‍යස්ථානයේ වැඩ සටහන් සහකාර දිනූෂා ගුණසේකරගෙන් තොරතුරු විමසුවෙමි.
මේ කෘමියා පැතිරීයන්නේ කුමන ප‍්‍රදේශවලද ?
දැනට ගම්පහ , මීගමුව , ජාඇළ යන ප‍්‍රදේශවල බහුලව මේ හානිය වාර්තා වී තිබෙනවා. ශාකවලට ප‍්‍රබලව හානි කරන රෝගී තත්ත්වයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වයට ගොදුරු වීමෙන් අප‍්‍රසන්න බවක් ශාකයට ගෙන දෙනවා.
මේ පිටි මකුණාගේ විශේෂත්වය කුමක්ද?
උෂ්ණ වියළි කාලගුණික තත්ත්ව යටතේ ඉතා කි‍්‍රයාශීලි වන අතර ඔවුන් හානි කරන්නේ පොළොව මට්ටමෙන් ඉහළ කඳ , පත‍්‍ර මල් හා ගෙඩි වලටය. ශාක මත පොකුරු ලෙස මොවුන් ජීවත් වෙනවා. පිරිමි හා ගැහැණු පිටි මකුණන් පැහැදිලිව හඳුනාගත හැකිය.
පිරිමි සුහුඹුල් සතුන් කහපැහැති වන අතර ශරීරය වටා සුදුපැහැති ඉටි වැනි ද්‍රව්‍යයකින් ආවරණය වී ඇත. මිලිමීටර් එකක් පමණ දිග පිරිමි සතා ඕවලාකාර හැඩයකින් යුක්තය.ගැහැනු සතා මීට වඩා වෙනස්. මිලිමීටර් දෙකයි දශම දෙකක දිග පළල එකයි දශම හතරක් වෙනවා.
ශරීරය කාණ්ඩවලට බෙදී ඇති අතර ශරීරය වටා පිටතට ද යන ආකාරයට කෙඳි වැනි ද්‍රව්‍ය පිහිටා ඇත. බිත්තර කොළ පැහැයට හුරු කහපාටට දක්නට ලැබෙනවා. ජීවන චක‍්‍රයේ බිත්තර, කීට, පිලවා, හා සුහුඹුල් අවස්ථාව දක්නට ඇති අතර සම්පූර්ණ කිරීමට ගතවන්නේ මසකට අඩුකාලයකි.
පිටි මකුණා ගස්වලට හානි කරන්නේ කුමන ආකාරයටද?
පිටිමකුණා සිය මුව උපාංග උපයෝගී කර ගනිමින් ගස් වල යුෂ උරා බොයි. ගහනය දිගින් දිගටම පැතිරීයාමේ ප‍්‍රතිඵලය නිසා පත‍්‍ර කහ පැහැයට හැරී ශාක කුරුවී පත‍්‍ර හැළීයාම සිදුවෙනවා. මේ නිසා ගෙඩි හැළීයාම ද සිදුවෙනවා .
පිටි මකුණාගේ බහිස‍්‍රාවී ද්‍රව්‍ය නිසා කුහුඹුවන්ද ඔවුන් ආශි‍්‍රතව ජීවත් වෙනවා. රෝගය පැතිරීයාම සුළඟ මගින්ද සිදුවිය හැකිය. ඵලදාව පිටි මකුණාට ගොදුරුවීමෙන් ගෙඩි මත සුදු පැහැති ඉටි වැනි ද්‍රව්‍යයක් පතිත වේ. ආහාරයට ගත නොහැකි තත්ත්වයට පත්වීමෙන් ආර්ථික වටිනාකම අඩුවෙනවා.
හානිය පාලනය කිරීමට ගත යුතු කි‍්‍රයා මාර්ග මොනවාද?
රසායනිකව මර්දනය සඳහා කෘමිනාශක භාවිතා කළ හැකිය. නම් වශයෙන් හඳුන්වා දෙනවා නම් ඇසිෆේට් , කාබොරිල්, ක්ලෝරෆයිරොප්ච්, ඩයසිකෝන් හා ඩයිමොතොඒට් .සාමාන්‍යයෙන් මේ රසායනික දෙවතාවක්වත් යෙදිය යුතුයි.
පිටි මකුණා විනාශ කිරීම සඳහා ස්වභාවික සතුරන් වන පිටිමකුණාගේ විලෝපීයන් යොදා ගත හැකිය. කුරුමිණියන්, රේන්ද මකුණන්, විලෝපීයන් ලෙස හඳුනා ගැනීමට හැකිය. ඊට අමතරව ගස් වලට වැඩිපුර වතුර ඉසීම මගින් පිටිමකුණන් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා.
පැතීරීයාම අඩු කරන්නෙ කෙසේද?
වගා බිම පිරිසිදුව තබා ගැනීමත් වල් පැළෑටි පාලනය නිසි ආකාරයට කිරීම මගින් පිටිමකුණු වසංගතය පැමිණීම වළක්වාගත හැකිය.
උපදෙස්
මාකඳුර ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ
ආචාර්ය හේමන්ත විජේවර්ධන

No comments:

Post a Comment