සරුවට වැඩේ යැයි සිතා පළාතම තෙමෙන්න
වතුර දැමීම පලක් නැති වැඩක්
සියලු බෝග වර්ධනය සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. මුල් ආධාරයෙන් ශාක පසෙන් ජලය අවශෝෂණය කරයි.
ඒ නිසා බෝග සඳහා සපයන ජලය යෙදිය යුත්තේ මූල පද්ධතියටය. බෝගයක මුල් එක්තරා ප්‍රදේශයකට සීමාවන අතර, එම මුල් අඩංගුවන ප්‍රදේශය මූල කලාපය වශයෙන් හැඳින්වේ.
මේ මූල කලාපය බෝගය අනුව එකිනෙකින් වෙනස් වේ. ශාකයක මූල කලාපයට පිටතින් යොදන ජලය එම ශාකයට අවශෝෂණය කර ගැනීමට නොහැකිය.
සමහර ගොවීන් වැඩිපුර ජලය යෙදීමෙන් වඩාත් සරුවට බෝග වර්ධනය වේ යැයි බලාපොරොත්තුවෙන් බෝග සිටුවා තිබෙන මුළු ප්‍රදේශයටම ජලය යොදයි.
එසේ ජලය යෙදීමෙන් වගාවට කිසිම ප්‍රයෝජනයක් අත් නොවේ.
මුළු ප්‍රදේශයටම ජලය යෙදූ විට ශාඛවල මූල කලාපයට පිටතින් තිබෙන ජලය වාෂ්පීකරණය මගින් අපතේ යයි.
බෝගයක වර්ධනය සහ අනෙකුත් සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය බෝගජල අවශ්‍යතාව වශයෙන් හැඳින්වේ.
බෝග වගාවකින් වාෂ්පීකරණය වශයෙන් සහ උත්ස්වේදනය වශයෙන් ජලය ඉවත් වේ.
බෝග වගාකොට තිබෙන ප්‍රදේශයෙන් සහ බෝගයේ විවිධ කොටස් මතු පිටින් ජලය වාෂ්ප ආකාරයෙන් ඉවත්වීම වාෂ්පීකරණය වශයෙන් හැඳින්වෙන අතර, බෝගයේ පත්‍ර සහ අනෙකුත් කොළ පැහැති කොටස්වල පිහිටන පූටිකා නැමැති කුඩා සිදුරු තුළින් වාෂ්ප ආකාරයෙන් ජලය ඉවත්වීම උත්ස්වේදනය වශයෙන් හැඳින්වේ.
බෝගයක වර්ධන අවශ්‍යතා සඳහා මෙන්ම උත්ස්වේදනය සහ වාෂ්පීකරණය සඳහා අවශ්‍ය වන ජලය, මුල් ආධාරයෙන් පසෙන් ලබාගනී.
බෝගයේ වර්ධන අවස්ථාව අනුව බෝග ජල අවශ්‍යතාව වෙනස් වේ. එළවළු බෝගවල විවිධ වර්ධන අවස්ථාවන් 4 ක් දනින්නට පුළුවන.
1. ආරම්භක අවස්ථාව, බීජ පැළවල මූලික වර්ධනය මෙම අවස්ථාවේ සිදුවේ. මේ අවස්ථාවේදී බෝගය මගින් ඉඩම ආවරණය වන්නේ ඉතාමත් අඩුවෙනි.
2. බෝග වර්ධන අවස්ථාව - ආරම්භක අවස්ථාවේ අවසානයේ සිට මුළුමනින්ම ඉඩම ආවරණය වනසේ බෝගය වර්ධනය වීම දක්වා වන කාලය බෝග වර්ධනය වන අවස්ථා වශයෙන් හැඳින්වේ.
3. මැද අවස්ථාව - ඉඩම මුළුමනින්ම ආවරණය වීම දක්වා බෝගය වර්ධනය වීමේ සිට බෝගය පීදීම (මල් හට ගැනීම) ආරම්භවීම දක්වා වන කාලය “මැද අවස්ථාව“ වශයෙන් හැඳින්වේ.
4. අවසාන අවස්ථාව - බෝගය පීදීම ආරම්භක අවස්ථාවේ සිට අස්වනු පරිණත වන අවස්ථාව හෝ අස්වනු නෙලන අවස්ථාව දක්වා වන කාලය අවසාන අවස්ථාව වශයෙන් හැඳින්වේ.
බෝගයේ වර්ධන අවස්ථාව අනුව බෝග ජල අවශ්‍යතා වෙනස් වේ.
ජලය තිබුණත් බෝගය උවමනා ප්‍රමාණයට වඩා ජලය අවශෝෂණය නොකරයි. වගාවට යොදන වැඩිපුර ජලය වාෂ්පවීම හෝ පස තුළින් කාන්දුවීම මඟින් ඉවත්වේ.
නමුත් වැඩිපුර ජලය යෙදීම මගින් පසේ සිදුරු ජලයෙන් පිරීම නිසා මූල මණ්ඩලයට ඔක්සිජන් හිඟවීමෙන් බෝගයට හානි සිදුවීමට හැකියාවක් තිබේ.
No comments:
Post a Comment