මාස 5න් පසු යූරියා එපා බැසීම බාල වේවි
තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් භෝගයක්ව පැවැති කිරි අල අද වනවිට හොඳ වෙළඳ පොළක් ඇති මුදල් උපයන බෝගයකි.
කිරි අල කන්න බෝගයක් නොවන නිසා වසරේ ඕනෑම කාලයක ජල පහසුව ඇත්නම් වගාකළ හැකිය. සෙවනට දක්වන ළැදියාව නිසා තෙත් සහ අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගාව අතරට කිරි අල හොඳ අතුරු බෝගයකි.
වියලි හා අතරමැද කලාපවල ආන්තික කුඹුරුවල ද තෙත් කලාපයේ බෑවුම් හා ඕවිට භූමිවලද විවෘත බිම් තත්ත්වයේ අද මහා පරිමාණව කිරි අල වගා කෙරේ.
දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගාව සඳහා නිර්දේශ කර ඇති රතු කිරි අල වර්ගය ඉසුරු නමින් හැඳින්වේ.
ඉසුරු ප්‍රභේදයේ ලක්ෂණ වන්නේ ළපටි පිත්තේ බෙදුණු දාර දෙක දිගේ පවතින තද රතු ඉර නිල් කොළ පැහැති වර්ණයෙන් යුත් පත්‍රය, ද්විතීයික කුරුල්ලන් ඇති නොවීම හා මල් නොපිපීම විශේෂ ලක්ෂණය.
ගසක කුරුල්ලන් 10-15ක් හට ගනී. අල කුරුල්ලන්ගේ් බර ග්‍රෑම් 120-150 පමණ වෙයි. ගුණාත්මයෙන් ඉහළ කෝම ලබාගත හැකිය. හෙක්ටයාරයකට ටොන් 14-15ක සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය.
පහසු තරමක දිග තවාන් පාත්ති සකස් කරන්න. හොඳින් දිරූ කාබනික පොහොර මතුපිට පස් හා වැලි සමඟ 1.1.1 අනුපාතයට මිශ්‍ර කර තවාන් පස සඳහා යොදාගත යුතුය. එසේ නැත්නම් සෙවන ස්ථානයක වැලි පමණක් අඩංගු තවානක් සකස් කර ගැනීමට ද පුළුවනි.
නෙළාගත් කිරි අල ගස්වල මව් අල ගෙන අඟල් 2ක් ගනකමට අංකුර නොකැපෙන සේ පෙති කපාගත යුතුය. විශාල මවු අල නම් රවුම් කැබැල්ලක් දෙකට කපා ගැනීමත් සුදුසුය. කපාගත් අල කැබැලිවල කැපුම් පෘෂ්ඨයේ දැව අළු තැවරීම හෝ කැප්ටාන් වැනි දිළීර නාශකයක ගිල්වා සිටුවීම කළ යුතුය.
එම අල කැබලි තවාන් කිරීමේදී, මතුපිට අඟල් 1ක් පමණ ගනකමට වැලි වැඩි පස් තට්ටුවක් දමා දිරන කොළ රොඩු, පොල් අතු දිරූ පිදුරු වැනි ද්‍රව්‍යයකින් වසුනක් යොදන්න.
අවම වශයෙන් පත්‍ර 4-5ක් වර්ධනය වූ තවානේ මාස 1 1/2-2 වයස්ගත වූ පැළ සිටුවීමට ගත හැකිය. මවු අලවලින් හටගන්නා පැළ මවු අල කැබලිත් සමඟ වෙන්කර වෙනත් සුප්ත අංකුර ඇත්නම් ඒවා ඉවත් කර එක තැනක එක පැලයක් පමණක් වන ලෙස ක්ෂේත්රයේ සිටුවිය යුතුය.
එහෙත් කොළ කහවීමේ රෝගයට පාත්රවන පරිසර තත්ත්වයකදී අල කැබලිවලින් මතුවන පැළවල පත්‍ර බේරීමට ප්‍රථම මූල මණ්ඩලයට හානි නොවන පරිදි අල කැබලි වෙන්කර සිටුවීම සුදුසුය.
පස සැහැල්ලු නම් දිග, පළල ගැඹුර අඩි 1 1/2ක් ලෙස ද තද පසක් නම් අඩි 2ක් ද ප්‍රමාණයේ වලවල් කැපීම කළ යුතුය. වලවල් පිරවීම සිදුකළ යුත්තේ පොල්ලෙලි මඟිනි.
ජලහිඟතාවයක් ඇති පරිසර තත්ත්වවලදී පොල්ලෙලි කාබනික ස්පොන්ජයක් ලෙස කි‍්‍රයාකරමින් පෝෂක මූලද්‍රව්‍යය සංරක්ෂණයක් ලෙස කි‍්‍රයාකරමින් පෝෂක මූලද්‍රව්‍ය සංරක්ෂණයේද යෙදේ. වල පිරවීමේදී කාබනික පොහොර, පිදුරු කාටුව, දිරූ දහයියා සමඟ කාබනික පොහොර 1.1 අනුපාතයට කලවම් කර යෙදීම උසස් අස්වැන්නකට හේතුවේ.
මුල් මාස 4 1/2 - 5 දී පමණක් යූරියා අඩංගු රසායනික පොහොර භාවිතා කළ යුතුය. නැතහොත් කෝම නිපදවීම සිදු නොවී ගසේ වර්ධනය පමණක් සිදුවිය හැකිය. මාස 5කට පසු දෙවතාවක් මියුරියේට් ඔෆ් පොටෑෂ් පමණක් යෙදීම ගුණාත්මක අල අස්වැන්නකට හේතුවේ. පළමු හා දෙවන මතුපිට පොහොර යෙදීම හා සමගාමීව එය කළ යුතුය.
පාරිසරික තත්ත්වයන් වෙනස්වීමකදී පත්‍ර දිළීර හානියට ඉක්මනින් භාජනය වේ. පත්රවලට කූඹිත්තන්ගෙන් හා කීඩෑවන්ගෙන් සිදුවන හානිය සුලභය. එකම භූමියේ අඛණ්ඩව කිරි අල වගාකිරීම නිසා වට පණුවන්ගේ හානිය තීව්රවීමට හැකිය.
බෝගය පරිණත වනවිට පත්‍ර හට ගන්නා වේගය අඩුවේ. පත්‍ර ක්ෂේත්‍ර ඵලය කුඩා වේ. නටු කෙටිවේ. ආර්ථික අස්වැන්න වූ කෝම ගැලවීම වගාවට මාස 8- 10 දී සිදුකළ හැකි වුවද වෙළෙඳ පොළ මිල ඉහළ යන තෙක් මාස 12-14 දක්වා අස්වනු ගැලවීම පමා කළ හැකිය.
No comments:
Post a Comment