කොම්පෝස්ට් ගොඩ වටේ කාණු කපන්න
ඔබේ ගෙවත්තේ ම කොම්පෝස්ට් පොහොර සාදා ගැනීමට දැනසිටීම ඉතා වැදගත් වේ. නැතිනම් නිවැරැදිව කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට ඔබ කළ යුත්තේ සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි.
මෙහිදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
. අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශයක් වීම
. අමුද්‍රව්‍ය හා නිෂ්පාදනය කළ කොම්පෝස්ට් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි ස්ථානයක් වීම
. ජලයෙන් යට නොවන ස්ථානයක්වීම
. ජලය සපයා ගත හැකි ස්ථානයක් වීම
ස්ථානය තෝරා ගැනීමෙන් පසු ඔබ නිපදවන ස්ථානය පිරිසුදු කර ගල් කැට ඉවත්කර පොළොව මට්ටම් කරගත යුතු ය. පස මතුපිට බුරුල් නම් තාප්ප මෝලකින් පස තලා සකස් කරගන්න. තෝරාගත් ස්ථානයේ වතුර බැස යාමට හැකිවන පරිදි කාණු පද්ධතියක් සකස් කරන්න.
කාණු කැපීමෙන් ලැබෙන පස් දමා බිම උස් මට්ටමකට සකස් කරගන්න. අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී සුලභ කොළ වර්ග තණ කොළ, ජලජ වල් පැළෑටි බෝග අවශේෂ යෙදීම වැදගත් ය. ප්‍රදේශයේ පහසුවෙන් ම ලබාගත හැකි ඕනෑම සත්ත්ව අපද්‍රව්‍යයක් මේ සඳහා වැදගත් වේ.
කලින් නිපදවාගෙන තිබුණ කොම්පෝස්ට් පොහොර ස්වල්පයක් ද එප්පාවල රොක් පොස්පේට් පොහොර ස්වල්පයක් ද කොම්පෝස්ට් නිපදවීමට යොදාගත හැකි ය.
නිපදවන ආකාරය පළමු වැනි තට්ටුව
නිපදවීමට බලාපොරොත්තු වන ගොඩේ ප්රමාණණයට කෝටුවකින් පොළොවේ සැලැස්මක් ඇඳගන්න. අමුද්‍රව්‍ය සුලබතාව මත ද ඉදි කෙරෙන ගොඩේ ප්‍රමාණය නිර්ණය කර ගැනීමට ඔබට හැකි ය.
අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම පළල අඩි 5 - 6 හා උපරිම දිග අඩි 14 - 15 ලෙස සලකුණු කරගන්න. අමුද්‍රව්‍ය සීමාසහිතවීම ඔබ ගැටලුවක් කරගන්න එපා.
මෙවැනි අවස්ථාවක කුඩා ගොඩවල් සකස් කරගන්න. පළමු තට්ටුව සෑදීමේදී කොළ අතු හෝ තණ කොළ රොඩු අඟල් 9 - 10 පමණ තට්ටුවක් පොළොවේ මතුපිට අතුරන්න. කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙළවරෙන් අඟල් 3 -4 ක් පිටතට සිටින සේ තැන්පත් කරන්න.
එසේ සිදු කිරීමෙන් පළමු පෙරළීමට ප්‍රථම දඬු එළියට ඇඳ දැමීමට හැකිවේ.
එමඟින් දඬුවලින් කොළ එකිනෙක වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එය නිෂ්පාදන වියදම අඩුවීමට හේතුවේ.
කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතුවීම වලක්වා ගත හැකිවේ. මේ හේතුව නිසා පළමු තට්ටුව ලෙස සත්ත්ව අපද්‍රව්‍ය නොයොදන්න.
දෙවැනි තට්ටුව
දෙවැනි තට්ටුවේ සත්ත්ව අමුද්‍රව්‍ය හෝ දිරාපත් වීමට පහසු ශාක කොටස් තැන්පත් කරන්න. සත්ත්ව අමුද්‍රව්‍ය දෙවැනි තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2 - 3 සිට අඟල් 8 - 9 දක්වා වුව ද වෙනස් කරගත හැකි ය.
අමුද්‍රව්‍ය සුලබතාවය මත සත්ත්ව පොහොර තට්ටුවේ උස වෙනස් කරගත හැකි ය.
මේ තට්ටු දෙකෙහි භාවිතා කළ අමුද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කරන්න පෙර නිපදවාගත් කොම්පෝස්ට් ස්වල්පයක් දෙවැනි තට්ටුවේ මතුපිට සෑම ස්ථානයකම ඉසින්න.
මුහුණ හෙවත් පෙර නිපදවූ කොම්පෝස්ට් ලෙස කුණු ගොඩෙන් ගත් දිරාපත් වූ කුණු රොඩු පවා භාවිතා කළ හැකි ය.
තුන් වැනි තට්ටුව
දෙවැනි තට්ටුව ලෙස සත්ත්ව අපද්‍රව්‍ය භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළ හැකි ය. දෙවැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස සත්ත්ව පොහොර භාවිතා කරන්න.
රොක් පොස්පේට් සපයාගත හැකි නම් ඉන් ස්වල්පයක් මතුපිටට ඉසින්න. ඊළඟ අප කළ යුත්තේ ගොඩසැකසීම ය. තුන් වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් සත්ත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ලෙස තැන්පත් කරන්න.
තට්ටු දෙකට හා තුනට වරක් මුහුන් ඉසීම සිදු කරන්න. තට්ටු තුනට හා හතරට වරක් රොක් පොස්පේට් ඉසීම ද සිදු කරන්න.
මේ ආකාරයට අමුද්‍රව්‍ය භාවිතා කර අඩි 4.5 හා 5 පමණ උසට ගොඩ සකසා ගන්න. ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කරන්න.
ශාක අමුද්‍රව්‍ය තට්ටු 2 - 3 කට වරක් සත්ත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යොදන්න.
දින හතකින් ගොඩේ උස අඩුවී ඇති බව පෙනේ. දිරාපත් කිරීම ඉක්මන් කිරීම මීළඟට ඔබට තිබෙන ප්රශ්නයකි. ඔබ යොදා තිබෙන ද්‍රව්‍ය පිදුරු ලී කූඩු වැනි දෑ නම් ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් සේ මුහුන් යෙදීම කරන්න.
දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත්වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ. ශාක කොටස් තට්ටු දෙක තුනකට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න.
සත්ත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න.
සත්ත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 – 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙනම තැන්පත් කරන්න.
මෙහිදී තෙතමනය පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙන අතර කොළ පැහැති කොළවල තෙතමනය රඳාපවතී.මේ නිසාම දිරාපත්වීම ඉක්මන් වේ. වියළි කොළ හෝ වියළි සත්ත්ව පොහොර භාවිතා කරන විට අවශ්‍ය පමණ ජලය යොදන්න මතක තබාගන්න .
විවිධ තට්ටු ලෙස ගොඩක් අඩි 4 – 4.5 දක්වා උසට ගොඩ නැගීමෙන් පසු නැවත අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදන්න.
ගොඩ ආවරණය කිරීමේදි නිපදවාගත් ගොඩට වාතය ඇතුළු වන සේ කළු පොලිතින් හෝ පොලිසැක් බෑග් හෝ වියලාගත් පොල් අතු මගින් වසා තබන්න.
පොළොව මට්ටමේ සිට අඟල් 6 සිට 12 ක් පමණ උසකින් ආවරණය පවත්වා ගැනීමෙන් ගොඩට වාතය ඇතුළුවීමට හා පිටවීමට හැකිවේ.
මෙය කොම්පෝස්ට් ගොඩකට ඉතාමත් වැදගත් වේ. ගොඩ තුලට හොඳින් වාතාශ්‍රය ලැබේ නම් ගොඩ ඉක්මනින් දිරාපත් වේ.
දින හයකට හතකට පසු වැස්ම ඉවත්කර උල් කරගත් ලීයක් ගොඩ තුළට ඇතුළු කර තෙතමනය පරීක්ෂා කර බලන්න. වියළි කාලයේදී අඩු කාලාන්තරයකින් ජලය යෙදීමට සිදුවන අතර වර්ෂා කාලයේ දී ජලය යෙදිය යුතු කාලාන්තරය වැඩි වනු ඇත.
තෙතමනය අඩු නම් ලීයක් මගින් ගොඩේ මතුපිට සිදුරු කීපයක් සාදා ජලය යොදන්න. ජලය යෙදීමෙන් පසු ගොඩ නැවත පෙර පරිදි වසා තබන්න. පළමු පෙරලීමෙන් මාසයකින් පමණ සිදු කරන තෙක් මෙලෙස සතියකට වරක් තෙතමනය පරීක්ෂා කර අවශ්‍ය නම් ජලය යොදන්න.
මාසයකට පමණ පසු ආවරණය ඉවත්කර ගොඩ හොඳින් පෙරලන්න. එහිදී දිරූ නොදිරූ කොටස් හොඳින් කවලම් වනසේ පෙරලීම සිදු කරන්න. ගොඩ පෙරලීමේදී මුහුන් ඉසීම සිදුකර හොඳින් කවලම් කරන්න.
මේ නිසා මුහුන් ගොඩේ සියලුම ප්‍රදේශවලට මිශ්රවේ. පළමු පෙරළීම සිදු කිරීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි නැවත වැසූ ගොඩ දින 6 – 7 කට වරක් තෙතමනය පරීක්ෂාකර බලා අවශ්‍ය නම් ජලය යෙදිය යුතුය.
ගොඩ නිපදවීමෙන් මාස දෙකකට පමණ පසු නැතහොත් පළමු පෙරලීමෙන් මාසයකට පමණ පසු ආවරණය ඉවත්කර දෙවනවර පෙරළීමද සිදු කරනු ලැබේ. අවශ්‍යනම් ජලය යෙදීම සිදුකරන්න.
දෙවන පෙරලීමෙන් පසුද පළමු පෙරලීමෙන් පසු මෙන්ම ගොඩ ආවරණය කරනු ලැබේ. ඉන් පසුවද දින 6 – 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදීම සිදුකරන්න.
කොම්පෝස් ගොඩ දෙවැනි පෙරලීමෙන් මාස දෙකකට පමණ පසු තුන්වන පෙරලීම සිදු කරනු ලැබේ. පළමු හා දෙවන පෙරලූ ආකාරයටම ගොඩ පෙරළා නැවත සකස් කිරීම කරන්න. මේ අවස්ථාව වන විට බොහෝ විට අමුද්‍රව්‍ය දිරාපත් වී ඇති අතර නිෂ්පාදනය වූ කොම්පෝස්ට් අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකිය.
තුන්වන පෙරළීමෙන් පසු කොම්පෝස්ට් සාර්ථක නිෂ්පාදනයකි. මෙවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ ගොඩ හොඳින් වසා තැබීමයි. එයට හේතුව ගොඩට කෘමීන් ඇතුලුවීමෙන් වලක්වා ගැනීමයි. කොම්පෝස් ගොඩක් උපරිම ලෙස තුන්වරක් පෙරලීම ප්රමාණවත්ය.
නිෂ්පාදනය කළ කොම්පෝස් ගොඩේ තෙතමනය පරීක්ෂාකිරීමට නම් කොම්පෝස්ට් ස්වල්පයක් අතට ගෙන හොඳින් මිරිකන්න.
ඇඟිලි අතරින් ජල බිංදු පිටවෙන්නේ නම් කොම්පෝස්ට්හි අන්තර්ගත තෙතමනය වැඩි වන බව හැඟී යනු ඇත.
ජලය පිට නොවී දුර්වල තත්ත්වයේ පහසුවෙන් කැඩෙන කොම්පෝස්ට් ගුලියක් සේ නිර්මාණය වන්නේ නම් හි ප්‍රශස්ථ තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.
No comments:
Post a Comment