Tuesday, January 6, 2015

වගාවේ රෝග නසන්න ශාක සාර බෙහෙත්



වගාවේ රෝග නසන්න ශාක සාර බෙහෙත්


ජීවපූර්ණ ගෙවතු වගාවේදී පළිබෝධ නාශක ලෙස භාවිතා කළ යුත්තේ ස්වභාවික ශාක සාරයන්ය. සොබාදහම විසින් ඒ සඳහා බොහෝ දේ අප වෙත දායාද කර ඇත.
ස්වභාවධර්මයා විසින්ම අපට උරුම කර දී ඇත්තේ එය පරිසරයටත්, මිනිසාටත් කිසිදා අහිතකර පීඩාවක් ඇති නොවන ආකාරයටය.  මෙය අපේ පැරැණි ගොවිතැනේ සාර්ථකත්වය පිටුපස තිබුණා වූ එක් රහසකි.
අනාගත පරපුර වෙනුවෙන් එකී දැනුම අද දවසේ භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බැවින් ඔබත් ඔබේ ගෙවතු වගාවේ ඇතිවන පළිබෝධ හානිවලදී මෙවැනි මර්දන ක්‍රම භාවිතා කර බැලිය හැකිය.
පලතුරු මැස්සා කුකර්බිටේ සියේ කුලයේ බෝගවලට දැඩි ලෙස හානිකරයි. මෙම මැස්සාගේ හානිය පාලනය කිරීමට හොඳින් පිපුණු මඩුමල් හෝ මදුමල් කීපයක් ගෙන කුඩා කැබලිවලට කපා කුඩුකර ඉසීමෙන් පලතුරු මැස්සාගේ හානිය වළක්වාගත හැකියි.
අරලිය මල් - එළවළු වගාවට හානි කරන සියලු කෘමීන් පලවා හැරීමට යොදා ගත හැකිය. අරලිය මල් කුඩාවට කපා වතුරට දමා දිනක් පල්කර එම වතුර එළවළුවලට ඉසීමෙන් සියලු කෘමීන් ඵලවා හැරේ. ගස්ලබු - එසේම මයිටාවන්, කූඹිත්තන් මර්දනයට කිරි වැඩි ගස්ලබු ගෙඩියක් සිහින්ව කපා ජලය ලීටර් 05 ක මිශ්‍ර කර දිනක් තබා පෙරා ඉසීම කළ හැකිය.
මකරන්ද - එළවළු වගාවේදී මකුණන්විශේෂවලින් සිදුවන හානි වළක්වා ගැනීමට මකරන්ද ගසේ කොළ එකතු කර ගෙවත්තේ තැනින් තැන කුණුවීමට හැකිවන පරිදි ගොඩ ගැසිය හැකිය. එමඟින් ඇතිවන දුර්ගන්ධය නිසා මකුනන් මෙන්ම කෘමීන් ද පලවා හැරේ.
දළඹුවන් මර්දනය සඳහා කළවැල් සහ වල්සූරියකාන්ත යන ශාක පත්‍ර දෙකම සමානව ගෙන තලා ලබාගන්නා යුෂ යොදාගත හැකිය. මෙයට අමතරව තක්කාලි ගසේ සියලු කොටස් ග්‍රෑම් 500 ක්, වතුර ලීටර් 02 කින් තම්බා ඉසීමෙන් ද දළඹුවන් පලවාහැරිය හැකිය.
කූඹිත්තන්, මයිටාවන්, කුරුමිණියන් සහ කෘමීන්ගේ හානි අවම කර ගැනීම සඳහා ඇවරි කොළඅතු කිලෝ 2 ක් 3 ක් අඹරා වතුර ලීටර් 01 සමඟ මිශ්‍රකර දිනක් පල්කර පෙරා ඉසීමෙන් ඉහත පළිබෝධකයන්ගේ ගහනය මෙන්ම හානිය ඉතා හොඳින් පාලනය වේ. මෙයට අමතරව ග්ලිරිසීඩියා හෝ කප්පරවල්ලිය, හී නික යන ශාකවල කොළ කිලෝ 01 ක යුෂ ජලය ලීටර් 03 ක දියකර ඉසීමෙන් ද පාලනය කර ගත හැකිය.
දිලීර රෝග ද ගෙවතු වගාවේදී බරපතළ හානි පමුණුවන රෝග කාරකයන් වේ. දිලීර රෝග සඳහා ග්ලිරිසීඩියා, හිඟුරු (ලපටි දඬු සමඟ) නත්තසූරියා, කොහොඹ, ලුණුමිදෙල්ල කොළ කිලෝ 01 බැගින් තිප්පිලි කොළ ග්‍රෑම් 500 ක් සමඟ හොඳින් මිශ්‍ර කර පොලිතින් දැල් උරයකට දමා ජලය ලීටර් 10 ක සතියක් පුරා ගිල්වා තැබීමෙන් පසුව පෙරා බෝගයන්ට ඉසීමෙන් දිලීර රෝග මෙන්ම කෘමීන් ද පාලනය වේ.
කොහොඹ ලොව හොඳම පළිබෝධ නාශකය වේ. කොහොඹ, කොළ, මල්, ඇට සහ පොතු යන මේ සියල්ල කෘමීනාශක වේ. ඇටවල පලිබෝධ නාශක ගුණය වැඩිය. කොහොඹ ඇට කොටා දිනක් ජලයේ පල්කර ජලය දමා පෙරා එයට සබන් වතුර එක්කර ඉසීමෙන් සියලු පලිබෝධක පාලනය වේ.
කොහොඹ ඇට ග්‍රෑම් 20 ක් වතුර ලීටර් 01 කට මිශ්‍ර කිරීම ප්‍රමාණවත් වේ. පරණ වූ ඇට නම් ග්‍රෑම් 35 – 40 ක් පමණ ප්‍රමාණයක් ගන්න. කොහොඹ ඇට දියරය ඉසීමේදී හවස් වරුවේ යෙදීම තුළින් වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකි වන්නේය.
හිරු එළිය කොහොඹ ඇටවල ඇති පළිබෝධ නාශක ගුණය අඩු කරයි. මෙම ගුණය වගාවේ සති 01 - 02 ක් අඛණ්ඩව පවතියි. මෙම ඇටවල රොඩ්ඩ වගා බිමට යෙදීම අහිතකර ක්ෂූද්‍ර ජීවීන් සහ වේයන්ගේ හානියට ඉතා හොඳය. ඇට කුඩු ග්‍රෑම් 25 ක් වර්ග මීටර් 01 ක යෙදීමෙන් ඇග්‍රොමයිකා සහ කියත් පණුවා මර්දනය වේ. මෙයින් සියලුම කොළ කන දළඹුවන් මර්දනය වේ.
වගාවේ පණු රෝග බහුලව ඇත්නම් කරඳ සහ කොහොඹ කොළ සමව ගෙන (කිලෝ 01 බැගින්) ජලය ලීටර් 8 – 10 සමඟ එයට එලගොම කිලෝ 02 පමණ මිශ්‍ර කර දින 14 ක් පල්කර එසේ පෙරාගත් දියරයෙන් කොටස් 01 ක් ජලය කොටස් 02 ක් සමඟ මිශ්‍ර කර ඉසීමෙන් පණු රෝග මෙන්ම පණුවන්ගේ ගහනය ශීඝ්‍රයෙන් අවම වේ.
ගෙවතු වගාවේදී අපට කෘමීන් වගේම කූඩිත්තන් සහ කුහුඹුවන් මෙන්ම දළඹුවන්ගේ හානි ප්‍රබල ලෙස ඇතිවේ. මේ හානි වළක්වා ගැනීම සඳහා ඉතාම සරල මෙන්ම සකසා ගත හැකි පහසු ක්‍රමවේදයක් ඇත. වියළි මිරිස් ග්‍රෑම් 100 ක් ජලය ලීටර් 01 සමඟ හොඳින් අඹරා පෙරාගන්න. එම මිරිස් ද්‍රාවණයේ සැර, පස් ගුණයකින් බාලකර ඉසීම මගින් ඉහත කී කෘමීන් හොඳින් පාලනය වේ. මෙහි ක්‍රියාකාරීත්වය ප්‍රබල කරන්නට සුදුළූණු හෝ රතුළූණු බික් කීපයක් අඹරා එක්කර ගන්න.
සුදුළූණු ග්‍රෑම් 50 ක් අඹරා ජලය ලීටර් 01 සමඟ හොඳින් මිශ්‍ර කර ඉසීමෙන් ද කෘමි හානි අවම කරගත හැකිය. හංගොල්ලන්, ගොළුබෙල්ලන් ද ගෙවතු වගාවට රිසි සේ හානිකරනු ලබන සත්ත්ව විශේෂයකි. මෙම සතුන් සහමුලින් වඳකර දැමීමට අපට අයිතියක් නැත. එහෙත් වගාවට පැමිණීම හා හානිය අවම කර ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා අමු ඉඟුරු, ලුනු, සුදුළූණු, වියළි මිරිස් ග්‍රෑම් 100 බැගින් ගෙන හොඳින් අඹරා වතුර ලීටර් 01 ක ඉසීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.
බටු කරටි විදින පණුවා ඉතා ඉක්මනින් බෝවේ. මෙම ගහණය වැඩිවන්නේ වගාව අපිරිසිදුතාවය වැඩි වූ විටය. පළමුව වගාබිම පිරිසිදු කරන්න. ඉන් අනතුරුව ගඳපාන, වල්ඉඟුරු, කලවැල් යන මේවා සමවගෙන බටු වගාවේ බිම වසුනක් ලෙස යෙදීමෙන් පාලනය වේ.
දැඩි මර්දනයක් අවශ්‍ය නම් ඉහත කී කොළ කිලෝ 01 බැගින් සමව ගෙන කොටා එය දිනක් පල්කර ජලය ලීටර් 03 – 05 ප්‍රමාණයක් දමා ඉසීමෙන් දැඩි මර්දනයක් ඇතිවේ. මිරිස් කොළ කොඩවීම ද ඔබට නිතර ගෙවතු වගාවේදී දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.
මෙය පාලනය කර ගැනීමට නම් වැල්කහඹිලියා කොළ ග්‍රෑම් 50 ක් – 100 ක් සිහින් කෑලිවලට කපා ජලය ලීටර් 01 – 02 ත් අතර ප්‍රමාණයක දමා මාස 01 ක් හොඳින් වසා තබන්න. මාස 01 කට පසු තේ කහට මෙන් කුණු වූ රොඩු නැති දියරයක් ලෙස ඇත්නම් එය පෙරා බෝතලයක දමා තබාගෙන මෙම දියරයෙන් අවුන්ස 02 ජලය ලීටර් 05 ක් සමඟ මිශ්‍ර කර සතියකට වරක් උදය වරුවේ ඉසින්න. රෝග තත්ත්වය පාලනය වේ.


No comments:

Post a Comment