Wednesday, January 7, 2015

සාර්ථක තවාන සාර්ථක වගාවක පෙර නිමිත්තක්



සාර්ථක තවාන සාර්ථක වගාවක පෙර නිමිත්තක්



තවාන් පාලනයේ ප‍්‍රධාන අරමුණ සිටුවීම සඳහා නිරෝගී පැළ නිපදවා ගැනීමයි. සාර්ථක තවාන සාර්ථක වගාවක් බිහිවෙන බවට පෙර නිමිත්තකි.
එළවළු තවාන් කාලසීමාව කෙටි නිසා තවානේ ඇතිවන රෝග හා පළිබෝධ හානි පාලනය කිරීමට උත්සාහ කරනවාට වඩා රෝග සහ පළිබෝධ හානි ඇතිවීමට පෙර වළක්වා ගැනීම වඩා වැදගත්ය. ඉන් නිෂ්පාදන වියදම අවම කරගත හැකි වනවාසේම තවානෙන්, වගා ක්‍ෂේත‍්‍රයට රෝග කාරක ඇතුළුවීම ද වළක්වාගත හැකිය.
තවාන්වල නොයෙක් හේතු නිසා රෝග ඇතිවේ. පරපෝෂිත ජීවීන් එක හේතුවකි. එම රෝග එක් ශාකයකින් තවත් ශාකයන්ට පැතිරීම සිදුවේ. දිලීර, බැක්ටීරියා, වෛරස්, මයික්‍රොප්ලාස්මා පරපෝෂිත ජීවීහු වෙති.
පරපෝෂිත ජීවීන් නොවන හේතුද වේ. ඒවා කායික රෝග ලෙස ද හැඳින්වේ. යාන්ති‍්‍රත හානි පරිසර තත්ත්ව, පාංශු තත්ත්ව නිසා එවැනි රෝග ඇතිවන අතර ගසකින් ගසකට පැතිර නොයයි.
රෝගයක් තවත් ශාකයකට පැතිරීමට ආසාදනය සඳහා ධාරක ශාකයක් මෙන් ම ඒ සඳහා සුදුසු පරිසර තත්ත්වයක් තිබිය යුතුය. රෝග කාරකයෙක් පරිසරයේ සිටි පමණින්ම රෝගයක් ඇති නොවේ.
මේ නිසා රෝගයක් බෝවීමට බලපාන පරිසර සාධක ඉවත් කිරීමෙන් රෝග පැතිරීම බොහෝදුරට පාලනය කරගත හැකිය.
තවාන් රෝග බොහොමයක් ඇති කරනුයේ පාංශුජනක ව්‍යාධිකාරකයින් මඟිනි. පිතියම් විශේෂ, රයිසොක්ටෝනියා සොලනයි, පියුසාරියම් විශේෂ ඕල්ටනේරියා විශේෂ මැයිරෝටියම් රොප්ෆ්සි ඒ අතරින් ප‍්‍රධාන වෙයි.
ඔවුන් ඇති කරන රෝගී තත්ත්වය දියමලන් කෑම ලෙස හඳුන්වයි. එම රෝග කාරකයන් මඟින් තවාන් පැළ ආසාදනය වීම හා පැතිරයාම ප‍්‍රධාන වශයෙන් පරිසර තත්ත්ව මත රඳ්‍ර පවතී.
දියමලන්කෑම අවස්ථා දෙකකදී තවානට ඇති විය හැකිය. පූර්ව දියමලන්කෑම බීජය ප‍්‍රරෝහණය වන අවස්ථාවේ සිදුවේ. එවිට බීජ කුණු වී යයි. ඒ නිසා බීජ පැළවීමක් සිදුනොවේ.
පශ්චාත් දියමලන්කෑම සිදුවන්නේ බීජ ප‍්‍රරෝහණය වී පැළ වර්ධනය ආරම්භ වන විටය. තවානේ තෙතමනය තිබුණ ද ඉක්මනින් මැළවී කඳ පාමුලින් කඩා වැටීම මෙහිදී සිදුවේ. පැළය හොඳින් පරීක්ෂා කළ විට කඳ පාමුල කොටසේ දුඹුරු ලප තිබීම, පාමුල කුණුවී තිබීම, පාමුල වියළි ලෙස කුණුවීම හෝ පැළෑටිය ඇඹරී කඳ කඩා වැටීම දැකිය හැකිය.
දියමලන්කෑම පැතිරීමට බලපාන හේතු කිහිපයකි. උෂ්ණත්වය ප‍්‍රධාන වශයෙන් බලපාන හේතුවකි. පිතියම් චෙක්පාන්ස් හැර ශ‍්‍රී ලංකාවේ වාර්තා වී ඇති අනෙකුත් පිතියම් විශේෂ වර්ධනය සඳහා ප‍්‍රශස්ථ උෂ්ණත්වය තෙත් කලාපයේ උෂ්ණාධික මාසවලදී ඇතිවේ. පසේ අධික තෙතමනයද රෝග කාරක වර්ධනයට හිතකර වේ.
තවාන් බිමක් තෝරා ගැනීමේදී හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වීම අත්‍යවශ්‍ය ය. සෙවණ තත්ත්ව යටතේ පවතින ඉහළ ආර්ද්‍රතාව රෝග කාරකයන් වර්ධනය සඳහා හිතකර වේ.
සෙවණ සහිත වීමෙන් සූර්යාලෝකය සොයා පැළ ඒ දිසාවට වර්ධනය වන බැවින් සිහින් දිගැටි දුර්වල පැළ ඇතිවන අතර එවැනි පැළ රෝගවලට පහසුවෙන් ගොදුරු වේ.
වගා නොකළ පසක් සහිත ස්ථානයන් තවාන් දැමීමට තෝරා ගැනීමෙන් සහ තවාන් දැමීමට බලාපොරොත්තු වන බෝගය පෙර කන්නයේදී එම ස්ථානයේ වගා නොකල එකක් වීම සුදුසුවේ. නැතිනම් රෝගී සුන්බුන් කොටස් ක්‍ෂේත‍්‍රයේ පැවැතීම හේතුවෙන් නව තවානට පහසුවෙන් රෝග කාරක ඇතුළු වෙයි.
හොඳ ජලවහනයක් සහිත බිමක් වීම වැදගත් වේ. ජලවහනය දුර්වල නම් පසේ තෙතමනය හා පරිසරයේ ආර්ද්‍රවතාව වැඩිවී රෝග කාරකයන්් සඳහා සුදුසු පාරිසරික තත්ත්ව ඇති කරයි. මේ නිසා තෝරාගන්නා භූමිය පහසුවෙන් ජලය බැස යන පරිදි ජල වහන ක‍්‍රම සැලැසුම් කළ යුතුය.
බීජ ප‍්‍රරෝහණයේ දී නිකුත් කරන ශ‍්‍රාවයන්වල සීනි සහ ඇමයිනෝ අම්ල අඩංගු බැවින්, ඒවා පිතියම් විශේෂ ආකර්ෂණය වීම සඳහා බෙහෙවින් උපකාරී වේ.
තවාන හොඳින් ජලවහනය වන ලෙස සහ මුල්වලට වායු සංසරණය හොඳින් සිදුවන ලෙස සකසා තිබීම රෝග බෝවීම මඟහරවා ගත හැකිය.
තවාන් භූමිය, පිරිසුදු ජලය ලබාගත හැකි තැනක් විය යුතුය. රෝගී ක්‍ෂේත‍්‍ර හරහා එන ජලය තවාන් බිමට සැපයීමෙන් හෝ තවාන් බිම හරහා ගලා යාමට සැලැස්වීම රෝගකාරකයන් තවාන් බිමට ඇතුළු වීමට ඉඩ සලසන පහසු ක‍්‍රමයක් වේ.
අධික සුළං මඟින් තවාන් පැළවලට යාන්ති‍්‍රක හානි සිදුවන අතර මේ නිසා ද්විතියිකව වෙනත් රෝගී තත්ත්වයන්ද ඇති විය හැකිය. ඒ නිසා එවැනි තත්ත්ව වලට භාජනය වන තැන් තෝරා නොගත යුතුය. නැතිනම් සුළං බාධක සැපයිය යුතුය.
එදිනෙදා පහසුවෙන් පරීක්ෂා කර බැලිය හැකි තැනක තවාන පිහිටුවීමෙන් රෝග ඉක්මනින් හඳුනාගැනීමට අවස්ථාව ලැබේ.
තවාන් පස නිවැරැදි ලෙස ජීවානුහරණය කළද, තවාන් පාලනය නිසි ලෙස ඉටු නොකළහොත් තවාන අසාර්ථක වීමට ඉඩ ඇත. තවාන් කරන බීජ නිරෝගී බවට සහතික කර ගැනීම ඉතා වැදගත් වේ.
කෙසේවෙතත් බීජ මඟින් පැතිරෙන රෝග වැළැක්වීම සඳහා බීජවලට ප‍්‍රතිකාර භාවිත කිරීම අවශ්‍යය. පිටරටින් ආනයනය කරන බීජ වර්ග බොහොමයක්, බීජ ප‍්‍රතිකාර කර ඇති බවට එම ඇසුරුම්වල සඳහන් කොට ඇත. තමන් විසින් ම නිෂ්පාදනය කරගත් බීජ, අනිවාර්යයෙන්ම බීජ ප‍්‍රතිකාර කර සිටුවිය යුතුය.
සමහර බීජවල අභ්‍යන්තර පටකවල සිටින සමහර ක්ෂුද්‍රජීවීන් මර්දනය සඳහා තාප ප‍්‍රතිකාරක යොදා ගනී. උදාහරණයක් ලෙස ගෝවා කුණුවීම වැළැක්වීම සඳහා තාප ප‍්‍රතිකාරක භාවිත කරයි.
මෙහිදී නියමිත කාලසීමාවක් තුළ නියමිත උෂ්ණත්වයකට බීජ පත් කළයුතු බැවින් උෂ්ණත්වය ඒකාකාරීව පවත්වා ගත හැකි පීඩන උදුන් භාවිතය අවශ්‍ය වේ.
බීජ පේළිවලට යෙදීම මඟින් පැළ අතර ගහන ඝනත්වය අඩුවන බැවින් ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ඇතිවේ. රෝගයක් ඇතිවුවත් පාලනය කිරීම පහසු වේ.
එළවළු බීජ බොහොමයක් කුඩා නිසා තවාන මතුපිට සිට සෙ.මී. 1-2 අතර ගැඹුරකින් සිටුවීම උචිත වේ. වඩා ගැඹුරින් සිටවූ විට බීජ තුළ මතුපිටට ඒමට තරමක් වැඩි පීඩනයක් දිය යුතුය. මේ නිසා බීජ පැළයට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය.
එමෙන්ම වඩා නොගැඹුරින් සිටුවීමද නුසුදුසුය. ජලසම්පාදනයත් සමඟ බීජ පස මතුපිටට පැමිණීමට ඉඩ ඇත. තවාන් පාත්තියේ බීජ තැම්පත් කළ පසු ජීවානුහරණය කළ පසෙන්ම බීජ වැසීම ඉතා වැදගත් වේ. බීජ ප‍්‍රරෝහණය සඳහා අවශ්‍ය කරන උෂ්ණත්වය තෙතමනය හා ආරක්ෂාව ලබාදීම සඳහා වසුන් භාවිත කළ යුතු වේ.
ඒ සඳහා වියලි පිදුරු මානා හෝ ගෝනි වැනි ද්‍රව්‍ය භාවිතා කළ හැකි අතර ඒ හැම ද්‍රව්‍යයන්ට පිරිසුදු විය යුතුය. වසුන ඉවත් කළ වහාම ළපටි බීජ පැළ ක්‍ෂේත‍්‍ර පරිසරය ම නිරාවරණය වන බැවින් එම අවස්ථාවේ ආරක්ෂිත ආවරණයක් ලෙස දිළීර නාශක යෙදීම සුදුසු වේ.
වල්පැළෑටි රෝගකාරක ධාරක ශාක ලෙස කි‍්‍රයාකරන බැවින් තවාන් හා අවට වල් මර්දනය රෝග පැතිරීම වැළැක්වීම සඳහා උපකාරී වේ.
අධික ජලසම්පාදනයත්, තවාන දැඩි වියළි හා තෙත් තත්ත්වයන්ට වරින්වර භාජනය වීමත් රෝග පැතිරීම පහසුවීමට හේතු වේ.
මේ නිසා ඒකාකාරී ලෙස පැළ වර්ධනයට අවශ්‍ය පමණට ජලය යෙදීම වඩාත් වැදගත්වේ. අධික තෙතමනය හා වැඩි උෂ්ණත්වය පිතියම් විශේෂ වර්ධනය සඳහා හිතකර වේ. තවාන්වලට ජලසම්පාදනය උදය හෝ සවස් වරුවේ කිරීම උචිතය. පැළවලට නොව පස තෙත්වන ලෙස ජලය යෙදීම අවශ්‍යය.
හිටු මැරීමේ රෝගයට තවාන භාජනය විය හැකිය. එහිදී තැනින් තැන පැළ මැලවී මැරී යනු දැකිය හැකිය. එවැනි අවස්ථාවක රෝගී ස්ථානවල පැළ පසත් සමඟ ඉවත්කර, පාංශු ප‍්‍රතිකාර සඳහා භාවිතා කරන දිලීර නාශක ජලයේ දියකර පැළ හා පස් හොඳින් තෙමෙන සේ වත්කරන්න. (උදු තිරාම් දිළීර නාශකය) මෙය දින 7කට වරක් කිරීම උචිතය. තවානේ ජලය හොඳින් බැසයාම සඳහා කාණු ගැඹුරු කිරීම අවශ්‍ය වේ.
තවාන් පැළ ගැලවීමේදී මුල්වලට හා කඳට වන හානි අවම වනසේ ගැළවීමෙන් ක්‍ෂේත‍්‍රයේ සිටු වූ පසු වන ආසාදන අවම කර ගත හැකිය.


උපදෙස් 
ගන්නෝරුව ව්‍යාප්ති හා පුහුණු අංශයේ
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ජයන්තා ඉලන්කෝන්

No comments:

Post a Comment