Sunday, January 11, 2015

දඬු සිටුවීමට වඩා නිවිති බීජ පැළ කිරීම සාර්ථකයි



දඬු සිටුවීමට වඩා නිවිති බීජ පැළ කිරීම සාර්ථකයි


පරිප්පු සමඟ නිවිති එක්කර ගැනීම රසවත් ව්‍යාංජනයකි. ඔබේ ගෙවත්තේ නිවිති වැලක් වවා ගැනීම ඔබට අපහසු නැත. පවුලේ අවශ්‍යතාව සඳහා කොළ මිටක් වුවත් ඔබට ලබා ගැනීම ප‍්‍රමාණවත් ය.
යකඩ බහුල නිවිති ශරීරයට පෝෂ්‍යදායී කොළ ආහාරයකි. මළබද්ධය නැති කරන, අර්ශස් රෝගයට ගුණදායී සිසිලස ගෙනෙන නිවිති, වෙළෙඳ පොළේ කීයක් ගෙවා හෝ ඔබ මිල දී ගනු ඇත.
ඔබේ ගෙවත්තේ නිවිති වැලක් ඇත්නම් අතේ තිබෙන මුදල ඔබට ඉතිරි වනු ඇත. බුරුල් සාරවත් පස නිවිති වැවීමට සුදුසු වේ.
රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ සහ දඬු යොදා ගත හැකි ය. දඬු මගින් ලබා ගන්නා පැළවල ඉක්මනින් ම මල් පිපීම ඔබට අවාසිදායක වනු ඇත. මේ නිසා ඔබ කළ යුත්තේ බීජ සිටුවීමෙන් පැළ ලබා ගැනීමයි.
දුර්වල ජල වහනයක් තිබෙන ස්ථාන නිවිති වගාවට සුදුසු නැත. වල් මර්දනය කර බිම පෙරළා කාබනික පොහොර යොදා නිවිති සිටුවීම ආරම්භ කරන්න.
පඳුරු සහ වැල් යන ආකාර දෙකට ම නිවිති නඩත්තු කළ හැකි බැවින් ඔබ කැමැති ක‍්‍රමයක් තෝරා ගන්න. පඳුරු ක‍්‍රමයට වගා කිරීමේ දී දින 40 – 45 අතර කාලයක් තුළ මුළු ගස ම ගලවා ගැනීමට ඔබට හැකියාව ලැබේ.
ඔබ පඳුරු ක‍්‍රමයට නඩත්තු කරනවා නම් පැළ පේළි අතර පරතරය අඩි බාගයෙන් බාගයට තබන්න. වැල් ක‍්‍රමයට වගා කිරීමේ අඩි එකහමාරක් දුරින් සිටුවන්න.
ගෙවතු වගාවේ දී කාබනික පොහොර බහුලව භාවිතා කරයි. වගාව ඇරැඹීමට ප‍්‍රථම කාබනික පොහොර යෙදිය යුතු අතර වරින් වර කාබනික පොහොර යෙදීම කළ යුතු ය.
ගොම යෙදීම වගාව සාරවත් කරන නමුත් වල් ව්‍යාප්තිය සිදු කරයි. මේ නිසා කුකුල් පොහොර යෙදීම කළ හැකි ය.
දින තුනකට හෝ හතරකට වරක් ජලය සැපයීම කළ යුතු ය. වියළි කාල ගුණ තත්ත්වයක දී වැඩි ප‍්‍රමාණයක් ජලය යෙදීම කළ යුතු ය. බහුලව හානි කරන රෝග පළිබෝධ හානි නැති තරම් ය. එහෙත් නිතර නිතර පරීක්‍ෂා කිරීමෙන් රෝග මර්දනය කළ හැකි ය.
සෑම අස්වනු නෙළීමකින් පසු කාබනික පොහොර යෙදීමෙන් දිගින් දිගට ම අස්වැන්න සරුසාර කර ගත හැකි ය.
පඳුරු ආකාරයට වගා කරන නිවිතිවලින් දින 40 - 45 අතර අස්වනු නෙළාගත හැකි ය. වැල් ආකාරයට සදා ගත් නිවිති පොළව මට්ටමින් අඩි එකහමාරක් වැවෙන විට අස්වනු නෙළා ගැනීමට හැකි ය.

No comments:

Post a Comment