Thursday, January 8, 2015

පටක රෝපිත කෙසෙල් පැළ ඉක්මනින් පූදිනවා



පටක රෝපිත කෙසෙල් පැළ ඉක්මනින් පූදිනවා


වසර පුරාම පැතිරුණ වගාවන් බැවින් කදිම ආයෝජන මාර්ගයක් ලෙස කෙසෙල් වගාව හැඳින්විය හැකිය. කෙසෙල් වගා කිරීමේදී ප‍්‍රධාන ගැටලුවක් වී ඇත්තේ නිරෝගී අස්වැන්නක් පිළිබඳවයි. ඒ සඳහා සුදුසු පැළ රෝපණය කිරීම ඉතාම වැදගත් ය.
කෙසෙල් වගාවට හානිකර රෝග සියල්ලක්ම පාහේ රට පුරා පැතිරීමේ ප‍්‍රධාන ප‍්‍රශ්නයට මේ වනවිටත් මුහුණ පා ඇත. එම ගැටලු මඟ හැරවීමට එකම පිළියම අවශ්‍යතාවට ගැලපෙන පරිදි නිෂ්පාදනය කිරීමයි.
අස්වැන්න වැඩි පැළ වගා කිරීමට අද බොහෝ ගොවියෝ උනන්දු වෙති. මේ නිසා ම ගොවීන් අතර පටක රෝපිත කෙසෙල් පැළ ජනප‍්‍රිය විය. දැනට ඇති වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රම අතරින් වේගවත්ම වර්ධක ප‍්‍රචාරක ක‍්‍රමය ලෙස එය පිළිගෙන ඇත. වෛරස් රෝග වලින් තොර පැළ ගහනයක් ලබාගැනීමට මේ ක‍්‍රමය ඉතාම යෝග්‍යවේ.
පටක රෝපණ ක‍්‍රමයෙන් කෙසෙල් පැළ නිපදවීම වසර දහයක් මුළුල්ලේ සිටම කරගෙන යන කි‍්‍රයාවලියකි එක සමාන පැළ ප‍්‍රමාණයක් එකම ස්ථානයකින් ලබාගත හැකිවීම නිසා පටක රෝපිත පැළ වගාකරුවන්ට වාසියකි.
කෙසෙල් බෝගය ප‍්‍රධාන වශයෙන් වෛරස් රෝග හතරකට ගොදුරුවේ. කෙසෙල් වඳ පීදීම, කෙසෙල් කහ ඉරි වෛරස් රෝගය, කෙසෙල් මුහ විචිත‍්‍ර රෝගය සහ පිපිඤ්ඤා විචිත‍්‍ර වෛරසය.
පටක රෝපණයෙන් කෙසෙල් පැළ නිපද වනවිට ඉහත ආකාරයට වෛරස් රෝග වලින් තොරවිය යුතු ය. එවැනි නිරෝගී පැළ නිෂ්පාදනයක් කළ හැක්කේ පටක රෝපණය සඳහා ගන්නා මවු ශාක නිරෝගී වූවිට පමණි නිරෝගී මවු පැළ ගහනයකින් පටක රෝපණයට පැළ තෝරාගත යුතු ය.
පටක රෝපණයෙන් නිපදවූ කෙසෙල් පැළ අද වෙළෙඳ පොළේ සුලබ දෙයකි. රෝගවලින් තොර යැයි යන මතය අනුව බොහෝ වගාකරුවෝ පටක රෝපිත කෙසෙල් පැළ මිලදී ගැනීමට උනන්දු වෙති.
සෑම ස්ථානයකම කෙසෙල් පැළ වගා කිරීමට ඇති හැකියාව නිසා බොහෝ දෙනා වගා කිරීමට උනන්දුවක් දක්වන නමුත් අවශ්‍ය ප‍්‍රමාණයට පැළ නැති වීම ගැටළුවකි.
දැනට පෞද්ගලික අංශ මගින් කෙසෙල් පැළ පටක රෝපණ ක‍්‍රම වලින් නිපදවනු ලැබුවත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැත.
පටක රෝපිත ශාක ඉක්මනින් ක්ෂේත‍්‍රයට සංස්ථාපනය වන අතර එමගින් හොඳ වර්ධනයක් පෙන්වයි. සාමාන්‍ය මොරෙයියෙක් සිටුවන විට මූලික පොහොර මිශ‍්‍රණයක් නො යොදන අතර පටක රෝපිත කෙසෙල් පැළයක් සිටුවීමේ දී පොහොර යෙදීම කිරීමට මතක තබා ගත යුතු ය.
සාමාන්‍යයෙන් පටක රෝපණය කළ කෙසෙල් වල වර්ධනය හොඳින් සිදුවෙන අතර සාමාන්‍ය ශාකවලට කලින් පිදීම සිදුවේ.
පටක රෝපිත කෙසෙල් පැළ තවානේ දී සැලකිලිමත් වියයුතු කරුණු ගණනාවකි. මේ අතර කෘමි ආසාදන වලින් වැළකීම, වෙනස් ලක්ෂණ සහිත පැළ තිබේ දැයි පරීක්ෂාකාරීවීම හා ඉවත්කිරීම පරෙස්සමෙන් පැළ නඩත්තු කිරීම, ගැන අවධානය යොමු කිරීම වැදගත් ය.
වීදුරු බඳුන් තුළ සෞම්‍ය පරිසරයක වැඩුණු පැළ බැවින් ඒවාට බාහිර පරිසරයේ කර්කශ තත්ත්වයට හුරුවීමට කලක් ගතවේ. මේ තත්ත්වය වටහාගෙන පැළවලට සිදුවෙන අපහසුතා හැකිතාක් දුරට මඟ හැරවීමට කටයුතු කිරීමෙන් සාර්ථක වගාවක් ලබාගත හැකි ය.
පටක රෝපිත පැළ වල වැඩිපුර මොරෙයියන් දක්නට ලැබේ. පටක රෝපිත කෙසෙල් පැළ ගැන මෙන් ම ඔබ විසින් වගා කළ සාමාන්‍ය කෙසෙල් පැළ පිළිබඳව ද අවබෝධයක් තිබීම වැදගත් ය.
වැඩිපුර කෙසෙල් පැළ පඳුරක තබාගැනීමෙන් මවු ශාකයේ වර්ධනය බාලවේ. එනම් මවු ශාකයට ලැබෙන පෝෂණය අඩුවේ. මේ නිසා ම මවු ශාකයේ කෙසෙල් කැන් ප‍්‍රමාණයෙන් කුඩාවේ. වඩාත් සුදුසු වන්නේ අවට ඇති වැඩිපුර කෙසෙල් පැළ ප‍්‍රමාණය ඉවත් කිරීමයි. අඩි 3 ක් පමණ වර්ධනය වූ පැළයක් නම් ගලවා වෙනත් තැනකින් සිටුවන්න.
ඔබේ ගෙවත්තේ ඇති කෙසෙල් පඳුරකින් පැළයක් ගලවා සිටුවීමට සූදානම් වනවිට එය කුමන වර්ගයේ මොරෙයියෙක් ද කියා හඳුනාගැනීමට හැකියාව ඔබට තිබිය යුතු ය.
කෙසෙල් පඳුරක හටගන්නා මොරෙයියන් ප‍්‍රධාන වශයෙන් වර්ග තුනකි. හොඳින් වර්ධනය වූ අලයක් හෙවත් කෝමයක් තිබීමත්, කඳ පහළ සිට ඉහළට ක‍්‍රමයෙන් සිහින්වීමත් හටගන්නා පත‍්‍ර සිහින් දිගැටිවීමත් කඩුපත් මොරෙයියන් ගේ ලක්ෂණය යි.
එවැනි මොරෙයියන් සිටුවීම සඳහා යොදාගත හැකි නම් වඩාත් සුදුසු ය. එයට හේතුව අලයේ ප‍්‍රමාණය විශාල නිසා පැළයේ වර්ධනය වේගවත් ය. විශාල කැන් හට ගනියි. වගාවට එවැනි පැළ වඩාත් සුදුසු නමුත්, පඳුරක පැළ සංඛ්‍යාව සීමිත ය.
පත‍්‍ර පළල් කෙසෙල් කෝමය මධ්‍යම ප‍්‍රමාණයෙන් යුත් කන්‍යා මොරෙයියන් ද වගා කිරීමට සුදුසු ය. මේ පැළ වල වර්ධනය වේගවත් අතර විශාල කැන් හටගනියි. වගා බිමකට කන්‍යා මොරෙයියන් ද ඉතා සුදුසු ය.
සමහර පළල් පත‍්‍ර මොරෙයියන් කෙසෙල් මවු ශාකයේ අලයේ ඉහළින් කටගනියි. මෙවැනි මොරෙයියන්ගේ කඳ දුර්වලයි. කෝමය ඉතා කුඩා නිසා තැන්පත්වී ඇත්තේ ඉතා සුළු ආහාර ප‍්‍රමාණයකි. බොහෝවිට පත‍්‍ර එකම ස්ථානයකින් හටගන්නා ස්වරූපයක් පෙන්වයි. පත‍්‍ර පහළට එල්ලා වැටෙයි. මෙවැනි මොරෙයියන් දියපත් මොරෙයියන් ලෙස හඳුන්වනු ලබයි.
මෙවැනි පැළ වර්ධන වේගය ඉතා දුර්වල බැවින් වගා කිරීම සඳහා නිර්දේශ නොකෙරේ. ඔබ ලබා ඇති අවබෝධ අනුව මොරෙයියන් තෝරා ගැනීමට හැකියාව තිබේ නම් වගාවට මොරෙයියන් තෝරා ගැනීමේ දී කඩුපත් මොරෙයියන් හෝ කන්‍යා මොරෙයියන් තෝරා ගැනීම වඩාත් සුදුසු ය. නො එසේ නම් පටක රෝපිත කෙසෙල් පැළයක් වගාවට තෝරා ගන්න.
තෝරාගත් කෙසෙල් පැළය සිටුවීමට හොඳින් හිරු එළිය වැටෙන ජල පහසුකම් සහිත ස්ථානයක් තෝරාගැනීම අවශ්‍යවේ. කාබනික ද්‍රව්‍ය සහිත හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් තිබීම පැළ වල නිරෝගී දිරිමත් වර්ධනය සඳහා ඉතා වැදගත්.
පැළ සිටුවීමට පෙර තෝරාගත් පැළ වල අල හොඳින් පිරිසුදු කරන්න. එමෙන් ම කෙසෙල් අලයේ දුර්වර්ණ වූ කොටස් හා ගුල්ලාගේ හානියට ගොදුරු වූ කොටස් ඉවත් කරන්න.
පැළ සිටුවීමේ දී සකසාගත් වලවල් මැදින් පැළ සිටුවන්න පැළයේ අලය කොටස පමණක් පසට යට කරන්න. සිටුවීමෙන් පසුව වලෙහි මට්ටම අවට පොළොවේ මට්ටමට සමාන විය යුතු ය. පැළ සිටුවන අවස්ථාවේදී විහිදී ඇති පත‍්‍ර තිබේ නම් පමණක් අලයේ සිට අඩි 2 ක් පමණ ඉහළින් කඳ කපා සිටුවන්න. ඒකාකාරීව වර්ධනය වූ වගාවක් ඇති කරගැනීම සඳහා සිටුවන ලද පැළවල වැඩීම ආරම්භ වූ පසුව පොළොව මට්ටමට ආසන්නයෙන් කඳ කපා දමන්න. එමෙන් ම එකහා සමාන විශාලත්වයක් සහිත මොරෙයියන් වගාවේ එකම කොටසක සිටුවන්න.
කෙසෙල් පැළ වර්ධනයත් සමඟ කෙසෙල් පඳුරු පාලනයට වගා බලා ගත යුතු ය. පැළයක් සිටුවා මාස හතරක් ගතවෙන තෙක් හටගන්නා සියලුම මොරෙයියන් ඉවත් කරන්න. මාස 4 ගත වූ පසුව හොඳින් වර්ධනය වන එක් ශක්තිමත් මොරෙයියෙකුහට පමණක් වැඩීමට ඉඩ හරින්න. සෑම විටම මාස 4 වරක් බැගින් එක් මොරෙයියෙකු හට වැඩීමට ඉඩ සලස්වන්නට වැඩි ගණත්වයක් යටතේ වාර්ෂික ක‍්‍රමයට පැළ සිටුවා ඇති වගාවන්හි, මවු ගසෙන් මොරෙයියන් හට ගැනීමට ඉඩ දෙනු නොලැබේ.
වල් පැළෑටි පාලනයේ දී කෙසෙල් පඳුර වටා අඩි 3 ක් පමණ ප‍්‍රදේශයක් තුළ වල් පැළෑටි වැවීමට ඉඩ නොදෙන්න.


කෙසෙල් වගාවේ රෝග සහ ප‍්‍රතිකාර ලබන සතියේ

උපදෙස්
ගන්නොරුව උද්‍යාන බෝග සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරි 
කේ.බණ්ඩාර වහුන්දෙනිය
හෝමාගම පැළෑටි වෛරස් මධ්‍යස්ථානයේ කෘෂි මෙහෙයුම් නිලධාරිනි 
ශාමලී දහනායක

8 comments:

  1. බොහොම හොද වැදගත් ,පටක රෝපන කෙසෙල් පැල ගන්න විදිහක් නැද්ද

    ReplyDelete
  2. Kesel vagavata phora yodana pramanaya gana kiyanna

    ReplyDelete
  3. දකුණු පලාත ගාල්ල පිටිගල ප්‍රදේශයට සුදුසු කෙසෙල් පැල ලබාගතහැකි ක්‍රමයක් කියන්න

    ReplyDelete
  4. මොනරාගල දිස්ත්‍රික්කයේ පැල ගන්න තියෙන්නේ කොහෙද? මිල ගනන් කොහොමද?

    ReplyDelete
  5. මොනරාගල දිස්ත්‍රික්කයේ පැල ගන්න තියෙන්නේ කොහෙද? මිල ගනන් කොහොමද?

    ReplyDelete
  6. මොනරාගල දිස්ත්‍රික්කයේ පැල ගන්න තියෙන්නේ කොහෙද? මිල ගනන් කොහොමද?

    ReplyDelete
  7. Good article. Pls contact me on -0773635055

    ReplyDelete