දොඩම් ගසට ලෙඩ බෝ වුණොත් රසයත් ගුණයත්
හීන වෙනවා
දොඩම් වගාවට රෝග වැලදීමෙන් අස්වැන්න අඩුවීම පමණක් නොව ගුණාත්මක බව අඩුවීම ද සිදුවේ. එබැවින් දොඩම් වගා කිරීමේ දී දොඩම් වගාවේ රෝග හඳුනා ගැනීම රෝග වළක්වා ගැනීම සහ රෝග මර්දනය පිළිබඳව මනා දැනීම, ගුණාත්මක බවෙන් පිරි වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා වැදගත්වේ.
කබොලු රෝගය
මෙය දිලිර රෝගයකි. කබොලු ආකාර පුල්ලි කොළ රිකිලි හා ගෙඩිවල ඇතිවේ. කහ දුඹුරු පැහැති මෙම පුල්ලි තනිව හෝ සමූහයක් ලෙස ඇති විය හැකිය. ස්පර්ශ කළ විට මේ පුල්ලි මතුපිටට නෙරා ඇති බව දැනේ. රන් ලෙමන්, ඇඹුල් දොඩම් හා පැණි දොඩම් වල වැඩි වශයෙන් මේ රෝගය දක්නට ලැබේ. වර්ෂාවත් සමඟ පැතිරී යා හැකිය.
රෝගී අතු කපා ඉවත් කිරීමෙන් සහ තඹ අඩංගු දිලිර නාශකයක් යෙදීමෙන් රෝගය පාලනය කරගත හැකිය. ඉසීමෙන් ජල සම්පාදනය නොකිරීම ද රෝග පාලනයට පියවරකි.
කැන්කර් රෝගය
මෙය බැක්ටිරියා රෝගයකි. කොළ අතු රිකිලි හා ගෙඩිවල රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. දුඹුරු පැහැති රවුම් හැඩැති කැළල් වටා තද කහපාට වූ ප්‍රදේශ හටගනී.
මේ කැලල් තිත් ලෙස හටගෙන පසුව විශාල වන අතර ඒ වටා වතුරින් පෙගුණු ආකාරයක් ගැනීම මෙම රෝගය හඳුනා ගැනීමට වැදගත්ම ලක්ෂණය වේ. එවැනි කැළල් පත්‍රයේ දෙපස ම හටගන්නා නිසා පත්‍ර විකෘති හැඩයක් ගනී. දෙහි, ග්‍රේප් ෆ්රුට් මේ රෝගයට වඩාත් ගොදුරු වේ. රෝගී අතු ඉවත් කර විනාශ කිරීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.
රක්ත පටල රෝගය
රෝගී අතුවල පත්‍ර කහපාට වී හැළී යයි. එසේ පත්‍ර හැළි ගිය රිකිලි පසු මැරීමට භාජනය වේ. ප්‍රධාන කදේ හා අතුවල පොත්ත මත රෝස පැහැති කුඩු ආහාරයට ඇතිවූ දිලිර බීජානු දක්නට ලැබේ. බොහෝ ගස් රෝගය නිසා විනාශ වේ.
රෝගය පාලනය කරගැනීම සඳහා රෝගී අතු කපා පුළුස්සා දමන්න. තවද ගස තුළට හොඳින් ආලෝකය වැටෙන සේ අනවශ්‍ය අතු හා ආසාදිත අතු කපා දැමීම කළ යුතුය. කඳේ කැපුම් තුවාල මත ආරක්ෂිත ආලේපයක් ගල්වන්න. වගාවට සුදුසු දිලිර නාශකයක් යොදන්න.
පිටිපුස් රෝගය
මෙය දිලිර රෝගයකි. ළපටි පත්‍ර මත අළු විසිරී ඇති ආකාරයට සුදු පැහැයට හුරු අළු පාට දිලිරය දැකගත හැකිය. කුඩා පත්‍ර හැකිළි විකෘති්ර වී යයි. පත්‍ර ආකාලයේ හැළි යන අතර රිකිලි පසු මැරීමට භාජනය වේ. රෝගය පාලනය කරගැනීම සඳහා ගසට හොඳින් හිරු එළිය වැටීමට සලස්වන්න. හැළී ගිය පත්‍ර එකතු කර ගිනි තබන්න. සුදුසු දිලිර නාශකයක් ගසට යොදන්න.
ටි්රස්ටිසා වෛරස් රෝගය
ගසේ වර්ධනය දුර්වල වීම පත්‍ර කහපාට වීම හා නාරටි බේරීම පත්‍ර අකාලයේ වැටී යාම අතු රිකිලි පසු මැරීමට ගොදුරු වීම පැහැදිලි රෝග ලක්ෂණ වශයෙන් දැකිය හැකිය. මෙයට අමතරව රෝගී ගස්වල කදේ සහ අතුවල ඇතුළු පොත්තේ දික් අතට සිදුරු හට ගනී.
රෝගය පැතිරෙන්නේ බද්ධ අංකුර මඟින් කළු කූඹිත්තන් හා වෙනත් කූඹිත්තන් කිහිප වර්ගයක් මඟිනි. බීජ මගින් රෝගය පැතිරීමත් සිදු නොවේ. රෝගය වැලඳුණු පසු එය සුවකළ නොහැකිය. රෝගයට ඔරොත්තු දෙන ග්රාහකයන් තෝරාගෙන බද්ධ පැළ නිපදවීම හා රෝගයට ඔරොත්තු දෙන දේශීය වර්ග වගා කිරීම වඩාත් සුදුසුවේ. රෝගය වැලදී ඇති ගස් ගලවා පුළුස්සා දැමීම හා වගාවට හොඳින් ජලය හා පොහොර සපයා හොඳින් නඩත්තු කිරීම මගින් රෝගය පාලනය කළ හැකිය.
මැලියම් වෑස්සීම
කදේ සහ ප්‍රධාන ශාකවල පොත්ත දික් අතට පැළී මැලියම් වැනි ශ්රාවයක් වෑස්සේ. පසුව පොත්ත වියළී ගැලවී යයි. පසුව ක්‍රමයෙන් මුළු ගසම මිය යාමට පටන් ගනී. තඹ අඩංගු දිලිර නාශකයක් පාප්පයක් ලෙස සකසා රෝගී අතු මත ආලේප කරන්න. දරුණු ලෙස රෝගයට ගොදුරු වූ අතු කපා ගිනි තබන්න. කෙළින් ම කඳ තෙමෙන ලෙස ජල සම්පාදනය කරන්න. හොඳ ජල වහනයක් ද ඇති කරන්න.
උපදෙස්
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ
ආචාර්ය අයි.ජේ. ද සොයිසා
පලතුරු පර්යේෂණ අංශයේ පර්යේෂණ නිලධාරිනි
ජේ.එම්.පී.බී. ජයසුන්දර
එළවළු බෝග අංශයේ පර්යේෂණ නිලධාරි
ආචාර්ය එච්.එම්.ආරියරත්න
ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ
ආචාර්ය අයි.ජේ. ද සොයිසා
පලතුරු පර්යේෂණ අංශයේ පර්යේෂණ නිලධාරිනි
ජේ.එම්.පී.බී. ජයසුන්දර
එළවළු බෝග අංශයේ පර්යේෂණ නිලධාරි
ආචාර්ය එච්.එම්.ආරියරත්න
No comments:
Post a Comment