Thursday, January 8, 2015

අලුත් රිකිලි ලබා ගැනීමට වැල කප්පාදු කළ යුතුයි



අලුත් රිකිලි ලබා ගැනීමට වැල කප්පාදු කළ යුතුයි


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන මිදි ප‍්‍රභේද කිහිපයක් තිබේ.
ඊශ‍්‍රායෙල් බ්ලූ වියළි කලාපයේ වගා කිරීමට නිර්දේශ කරයි. කළු නිල් පාටට හුරු ගෙඩි විශාලයි. මාංශලය පැණි රස වන අතර පොත්ත ගනකමින් යුක්ත ය.
කාඩ්නල් ප‍්‍රභේදය ද -වියළි කලාපයේ වගා කිරීමට නිර්දේශ කරයි. රතු පාට ගෙඩි ප‍්‍රණීත රසයකින් යුක්ත ය. පොත්ත තුනී ය.
මස්කට් එම්. අයි. ප‍්‍රභේදය - වියළි කලාපයට අමතරව තෙත් කලාපයේ ද වගා කළ හැකි ය. තද රෝස පාට විශාල ගෙඩි හට ගන්නා අතර ඉතා රසවත් ය. රතු වයින් නිපදවීම සඳහා යොදා ගනී.
ඉසබෙලා ප‍්‍රභේදය ද - වියළි කලාපයට අමතරව තෙත් කලාපයේ ද වගා කළ හැකි ය. ගෙඩිය තරමක් දම් පාට වන අතර ගෙඩි සියල්ල එකවර ඉදෙන්නේ නැත. මෙහි ඇඹුල් රසයකින් යුක්ත ය.
ෆෙරෙන්ච් එම්. අයි. හි ගෙඩි ළා කොළ පාටට හුරු සුදු පාටයි. පොකුරේ ගෙඩි තදින් ඇසිරී ඇත. යටි පුස් රෝගයට ප‍්‍රතිරෝධි ය. තෙත් කලාපයේ වගා කළ හැකි ය.
සුදු වයින් නිපදවීමට පමණක් භාවිතා කරයි. එක් සොටික් හා ඉතාලියා ප‍්‍රභේද අත්හදාබැලීම්වල දී හොඳ ප‍්‍රතිඵල ලබා දී ඇත.
සාර්ථකව මිදි වගා කිරීම සඳහා වියළි කාල ගුණය පවතින ප‍්‍රදේශ වඩාත් සුදුසුයි. ගෙඩි හට ගන්නා කාලවල දී විශේෂයෙන් ම වියළි කාලගුණයක් තිබීම අත්‍යවශ්‍යයි.
එසේ නොවූ විට මල් සහ ඵල හට ගැනීම අඩු වීම හෝ හට ගත් ගෙඩිවල තත්ත්ව බාල වීම හා දිලීර රෝග වර්ධනය වීමට ඉඩ ඇත.
මිදි අතු කැබැලි මගින් ප‍්‍රචාරණය කරනු ලබයි. පැන්සලයක් තරමේ විශාලත්වයකින් යුතු මේරූ දඬු, පැළ ලබා ගැනීම සඳහා යෝග්‍ය ය. අඩු ම වශයෙන් ගැට 3 ක් පමණ ඇතුළත් වන සේ අඟල් 8 ක් පමණ දිග දඬු කැබැලිවලින් පැළ සකස් කර ගත යුතු ය.
සුදුසු බිමක් තෝරා ගෙන මූලික බිම් සකස් කර පාංශු සංරක්‍ෂණ ක‍්‍රම අනුගමනය කරමින් භූමිය ජල සම්පාදනය සඳහා යෝග්‍ය වන අයුරින් සකස් කර ගත යුතු වේ.
මිදි වැල් රෝගවලින් ආරක්‍ෂා කර ගැනීම පහසු වන අතර උසස් ගුණාත්මයෙන් යුත් මිදි පොකුරු ද වැලකින් වැඩි අස්වැන්නක් ද ලබා ගත හැකි ය.
මිදි වැලකින් අවුරුදු 30 ක පමණ ආර්ථික ව ලාභදායි අස්වැන්නක් ලබා ගත හැකි බැවින් පන්දලම (මැස්ස) සකස් කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය අවුරුදු 30 ක් පමණ පවතින ඒවා විය යුතු ය.
කණු සඳහා කොන්කී‍්‍රට්, ගැල්වනයිස් බට (අගල් 2) හෝ අගල් 2 පී.වී.සී. බටවලට කොන්කී‍්‍රට් මිශ‍්‍රණය පිරවීමෙන් සකස් කළ බට හෝ භාවිතා කළ හැකිය. කණුවක උස තීරණය වන්නේ එහි කටයුතු සිදු කරන පුද්ගලයාගේ උස මතයි.
අත ඉහළට ඔසවා සිට ගත් පුද්ගලයාගේ මැණික් කටුව ප‍්‍රමාණයට කණු උස තිබිම ප‍්‍රමාණවත්ය. කණුව පොළොවේ සිටුවීමට තවත් අඩි 1 1/2 ක් පමණ අවශ්‍ය වේ. එමනිසා කණුවක උස පුද්ගලයාගේ මැණික් කටුව උසට අඩි 1 1/2ක් එකතු කිරීමෙන් ගණනය කළ හැකිය.
මේ අන්දමට සකස් කළ පන්දලමක මීටර් 8ය4කොටුවක කණු 6 ක් පිහිටන අතර කොටුවේ මැද වැල පිහිටා ඇත.
කණු සිටුවීමෙන් අනතුරුව කම්බි යොදා මැස්සක් ආකාරයට සකස් කර ගත යුතුවේ. සෑම කණුවක් මතින්ම හා සෑම කණු දෙකක මැදින්ම පිහිටන සේ ගේජ 10 ප‍්‍රමාණයේ කම්බි ඇද ගන්න. පේළිය අවසානයේ පොළොවට සවි කළ කූඤ්ඤයක් මගින් තදින් සවි කරන්න.
ඉන් පසු පන්දලමේ අඩි 3ය3කොටු සැදෙන පරිදි ගේජ 10 කම්බි යොදා සකස් කර ගන්න. ඉන්පසු ගේජ 12 ප‍්‍රමාණයේ කම්බි වලින් අඩි1ය1කොටු සැදෙන සේ කම්බි ඇද ගන්න. වැට ක‍්‍රමය සරලය.
වැටවල් යෙදිය යුත්තේ බටහිර හා නැගෙනහිර දිසාවන්ටය. හැකි සෑම විටම සුළඟ හමන දිසාවට සමාන්තරව ද යෙදීමට ද වගබලා ගත යුතුය. මේ අනුව හිරු එළිය උපරිමව ලබාගත හැකිය. වැලකින් ලැබෙන අස්වැන්න පන්දලම් ක‍්‍රමයේ දී ලැබෙනවාට වඩා අඩුය. රෝගවලින් ආරක්‍ෂා කර ගැනීම අපහසුය.
පදුරු ක‍්‍රමය ඉතා පහසු වියදම් අඩු ක‍්‍රමයකි. පරතරය අඩි6ය6 කි. වැලකින් ලැබෙන අස්වැන්න අඩුය. පදුරු ක‍්‍රමයේදී වැල් පුහුණු කරන ආකාරය වන්නේ ප‍්‍රධාන කඳ කෝටුවක් දිගේ පුහුණු කර අඩි 6 ක් උස් වූ විට අග‍්‍රස්ථය කඩන්න. ඉන්පසු අග‍්‍රස්ථයට ආසන්නව රිකිලි 4 ක් හතර දිශාවට පුහුණු කරන්න.
වලවල් සකස් කර ගැනීමේදී ඉහත දැක්වූ ක‍්‍රමවලින් තමා කැමැති ක‍්‍රමයක් තෝරා ගෙන ලකුණු කළ ස්ථානවල අඩි 3ය3ය3වලවල් කැපිය යුතුය. පැළ සිටුවීම වියළි කාලයක ආරම්භයේදී කළ යුතු අතර ඊට පෙර වර්ෂා කාලයේදී වලවල් කපා පුරවාගත යුතුය.
පැළ සිටුවීමට අඩු වශයෙන් මසකට කලින් වලවල් සකස් කොට කාබනික පොහොර හා මතුපිට පස් සමඟ කළවම් කර ජීර්ණය වීමට තබා පැළ සිටුවීම කළ හැකිය.
සිටුවීමට පෙර මූලික පොහොර වශයෙන් යූරියා ග‍්‍රෑම් 120 ති‍්‍රත්ව සුප්ර පොස්පේට් ග‍්‍රෑම් 80 හා මියුරියේට් ඔෆ් පොටෑෂ් ග‍්‍රෑම් 250 යන මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 450 ක් එක් වලකට යොදන්න.
පැල සිටුවීම කළ යුත්තේ වියළි කාලයේදීය. මාර්තු සිට ජූලි දක්වා කාලය සුදුසුය. මැයි හෝ ජුනි ඉතාම හොඳය. මිදි පැල සිටුවීමේදී බදුනේ ඇති පස් නොකැඩෙන පරිදි පොලිතීනය පරෙස්සමෙන් ඉවත් කර සකස් කර ගත් වලේ සිටුවීම කළ යුතුය. ඉන්පසු හොඳින් ජලය යොදන්න.
වැල් පුහුණු කරන ක‍්‍රමය පන්දලම් ක‍්‍රමය හෝ වැට ක‍්‍රමය අනුව වෙනස් වේ.
පන්දලම් ක‍්‍රමයට වැල් පුහුණු කිරීමේදි අඩි 7 ක් පමණ උස කෝටුවක් දිගේ වැල පුහුණු කරන්න. සියලුම දිය රිකිලි ඉවත් කරන්න. මැස්ස තෙක් වැල යන තුරු එසේ කළ යුතුය.
මැස්ස මත වැලේ සෑම අංකුරයකින් ම අතු ඒමට ඉඩ හැරීම කළ යුතු අතර ඒවා අඩි 6 ක් පමණ දිගට මැස්ස මත දෙපැත්තට යාමට සැලැස්විය යුතු ය.
වැට ක‍්‍රමයේ වැල් පුහුණු කරන ආකාරය මෙසේ ය. කම්බි 2 ක් පොළොවේ සිට අඩි 6 ක් උසින් ගැසිය යුතු ය. පැළ සිටුවා අඩි 6 උසට වැල වර්ධනය වූ විට පළමු කම්බියේ දෙපැත්තට අඩි 6 ක් දිගට අතු 2 ක් වැඩීමට ඉඩ හරින්න. සෑම විට ම ප‍්‍රධාන කඳේ පහළින් හා ඉහළින් ඇති අතු කඩා දමන්න. ඉහළ කම්බියේ ද අතු 2 ක් අඩි 6 ක් වැඩීමට ඉඩ හරින්න.
පසුව අග‍්‍රස්ථය කඩා දමන්න. මේ අන්දමට කම්බි 2 ක් දිගේ අතු හතරක් වර්ධනය වීමට හැර එම අතුවල සියලු ම අංකුරවලින් රිකිලි ඒමට ඉඩ හැරිය හැකි ය.
මැයි ජුනි මාසවල සිටවූ මිදි පැලයක් ඊළඟ ජුනි මාසයේ දී කප්පාදු කිරීමේ තත්ත්වයට පත් විය යුතු ය. මිදි වැලක මල් හට ගැනීම සිදු වන්නේ අලුතෙන් ඇති වන රිකිලිවල නිසා අලුත් රිකිලි ඇති කර ගැනීමට සැලකිලිමත් විය යුතු ය.
අලුත් රිකිලි ලබා ගැනීමට කප්පාදු කළ යුතු අතර ඒ සඳහා මිදි ශාකය හැඩ ගැසී ඇත. මිදි වැලක් කප්පාදු කළ යුත්තේ වැසි රහිත මාස තුනක් පමණ වියළි කාලයක් බලාපොරොත්තුවෙනි.
මෙලෙස කප්පාදුවෙන් පසු නව රිකිලි ඇති වී මාස 3 කින් පමණ අස්වනු ලබා ගත හැකි ය. වියළි කලාපයේ ජුනි මස 15 ට පෙර මිදි කප්පාදු කිරීම වැදගත් ය. කප්පාදුවට පෙර සතියක් පමණ මිදිවැල් හාමත් කිරීමට ජල සම්පාදනය සම්පූර්ණයෙන් ම අත් හිටුවිය යුතු ය.
මිදි වැල කප්පාදු කිරීම සඳහා අතු හොඳින් මෝරා තිබිය යුතුයි. මේරු අතු දුඹුරු පැහැයෙන් යුක්ත ය. පැන්සලක ප‍්‍රමාණයේ අතු හෝ ඊට වැඩි අතු සියල්ල අංකුර 5 ක් හෝ 6 ක් තබා කප්පාදු කළ යුතු ය. කොළ පැහැති සියලු ම අතු හා කොළ කප්පාදුව සමඟ ඉවත් කෙරේ. හොඳින් කප්පාදු කළ වැලක ඉතිරි වන්නේ හොඳින් මේරූ දඬු කොටස් පමණි.
කප්පාදුවෙන් පසු තඹ අඩංගු දිලීර නාශකයක් ඉසීම සුදුසු ය. එවැනි කප්පාදුවකින් පසුව මල් හට ගැනීම සිදු වේ. මිදි කප්පාදු කර දින 4 - 5 කින් නියමිත පොහොර මිශ‍්‍රණය යොදා අනතුරුව ජල සම්පාදනය කරන්න. මල් පිපීම සති 3 – 4 දැකිය හැකි ය. කප්පාදු කර සති 4 කට පසු මිදි පොහොර මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 2700 එක් පැළයකට වසරක් තුළ යොදන්න.
පැළ වටා කාණුවක් තුළ පොහොර යෙදිය යුතු ය. මේ සඳහා යූරියා ;පාහොර ග‍්‍රෑම් 120 ද ති‍්‍රත්ව සුපර් පොස්පේට් ග‍්‍රෑම් 80 ද මියුරියේට් ඔෆ් පොටෑෂ් ග‍්‍රෑම් 250 යෙදිය යුතු ය. මෙම පොහොර මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 450 ක් අවුරුද්දක් වයසැති පැළයකට යෙදීමට නිර්දේශ කරයි.
මෙම ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අවුරුදු පතා වැඩි කර අවුරුදු 3 ක් හෝ ඊට වැඩි වයසැති පැළයකට උපරිම ව කිලෝ ග‍්‍රෑම් 2 ක් පමණ යොදන්න. හැකි පමණ කාබනික පොහොර යෙදීම කළ යුතු ය. වර්ධන වේගය අඩු නම් දියර පොහොර භාවිතා කළ හැකි ය.
අස්වනු ලබා ගන්නා කාලය ප‍්‍රභේදය අනුව වෙනස් වේ. ඊශ‍්‍රායෙල් බ්ලූ ප‍්‍රභේදය කප්පාදුවෙන් මාස 3 - 3 1/2, ද කාඩ්නල් ප‍්‍රභේදය කප්පාදුවෙන් මාස 2 1/2 - 3 වේ.
මිදි ඉදෙන කාලය වන විට ජල සම්පාදනය අත්හිටුවීම ඉතා වැදගත් ය. මිදි ගෙඩිවල වර්ණය ක‍්‍රමයෙන් වෙනස් වන විට ජල සම්පාදනය අත්හිටුවීම කළ යුතු ය. සම්පූර්ණ පොකුර ම ඉදුණු විට අස්වනු නෙළන්න. අස්වනු නෙළුෑ පසු ගෙඩි ඉදීම සිදු නොවීම ඊට හේතුවයි. ගෙඩියේ ස්වාභාවිකව ඇති අළු ඉවත් නොකරන්න.
අස්වැන්න නෙළීම උදය වරුවේ සිදු කරන්න. පන්දලම් ක‍්‍රමයට මිදි වැලකින් අවුරුද්දකට කිලෝ ග‍්‍රෑම් 30 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකි ය.
මිදි වගාවට බහුලව ම වැළඳෙන රෝගය වන්නේ යටි පුස් රෝගයයි. බෝඩෝ මිශ‍්‍රණය හෝ තඹ අඩංගු චැම්පියන් කැප්ටාන්, බෙනොමිල් වැනි දිළීර නාශක යෙදීම සුදුසු ය.
පිටිපුස් රෝගය වියළි කාලයේ දී තෙත් ආර්ද්‍රතාවය ඇති විට වැළඳේ. එම රෝගය ජල ද්‍රාව්‍ය සල්ෆර් යොදා මර්දනය කළ හැකි ය.
මිදි වගාවට වේයන් මගින් ඇති වන හානිය ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබේ. මෙය පාලනය කර ගැනීමට ක්ලෝ රොනයිරියොන් මුලට යෙදීම කළ හැකි ය. තව ද කඳේ වේයන් ඇත්නම් එම ප‍්‍රදේශ ශුද්ධ කර ආලේප කිරීම කළ හැකි ය.
මිදි වගාවකින් වසර 30 ක් පමණ ආර්ථිකව ලාභ ලබා ගැනීමට හැකි දීර්ඝ කාලීන බෝගයක් නිසා හොඳින් නඩත්තු කිරීම ඉතාමත් වැදගත් වේ.

1 comment: