Sunday, March 22, 2015

අපේ පැපොල් වගාවට මොකද වුණේ...

  

අපේ පැපොල් වගාවට මොකද වුණේ....පෝෂ්‍ය ගුණයෙන් බොහෝ දුරට දොඩම්වලට සමාන පලතුරක් ලෙස ‘පැපොල්’ (ගස්ලබු) හැඳින්විය හැකිය. බීම, ජෑම් සැකසීම, පලතුරු සලාද, ආහාර වර්ග සුවඳ කිරීම සඳහා පලතුරක් ලෙස ඉදුන පැපොල් භාවිතයට ගනු ලබයි. අමු පැපොල් ගෙඩි මඟින් ව්‍යාංජන සහ අච්චාරු සැකසීම ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ප්‍රකටව ඇත. වර්තමානය වන විට පෙර කාලවලට වඩා වෙළෙඳ පොළෙහි ගස්ලබු මිල ගණන් ඉහළ ගොස් තිබේ.එසේ ම ඉල්ලුම වැඩි නිසා පැපොල් වගාවට වගා කරුවන් වැඩි පෙලඹීමක් දක්වයි. මේ පිළිබඳ හොරණ, කනන්විල, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අභිජනන අංශයේ පර්යේෂණ නිලධාරිනී ඉන්ද්‍රානි කළුබෝවිල මහත්මිය සමඟ කළ කතාබහකි මේ.වසර පුරා ම පල හට ගන්නා පලතුරු වර්ගයක් විදිහට පැපොල් පලතුර හඳුන්වන්න පුළුවන්. අමෙරිකා මහාද්වීපයේ නිවර්තන ප්‍රදේශවල සම්භවය වුවත්, බොහෝ කාලයක සිට ලෝකයේ සියලුම නිවර්තන රටවල වගා කරනවා. මෙය කැරිකෙසි ශාක කුලයට අයත් වූවක්.ශ්‍රී ලාංකිකයකු සාමාන්‍යයෙන් වසරකදී ආහාරයට ගනු ලබන පැපොල් ප්‍රමාණය ග්‍රෑම් 200ක් පමණ වෙනවා. ඒ අනුව මෙය දෙවැනි වන්නේ කෙසෙල්වලට පමණයි. බොහෝ අය පරිභෝජනයට ප්‍රිය පලතුරක් වුවත්, ඉල්ලුම සරිලන සැපැයුමක් තවමත් අපට සකසාගත නොහැකිව පවතිනවා. අපනයනය කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකි වුවත්, තවමත් අපට ඒ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වීමට නොහැකි වෙලා.ගම්පහ, අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, නුවර වැනි ප්‍රදේශවල පැපොල් වගාව කරගෙන යනවා. මේ ශාකය වියළි කලාපය තුළ වානිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට විභවයක් තිබෙනවා. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැපොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 6000ක් පමණ වුණා. එම වසර වන විට සාමාන්‍ය නිෂ්පාදනය 38361000ක් වූවා. 1990 දසකය හා සංසන්දනය කිරීමේ දී 2000 දසකයේ දී නිෂ්පාදනයේ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒ වගේම පැපොල් සඳහා ඇති ඉල්ලුමෙහිද ක්‍රමික වර්ධනයක් බිය හැකියි.කෙසේ වෙතත්, පහසුවෙන් වගා කළ හැකි වීම, ඉක්මනින් ආදායම් ලබාගත හැකි වීම, විවිධ පාංශු සහ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව, ආදී කරුණු නිසා මේ බෝගය වගා කිරීම සඳහා ජනතා උද්‍යෝගය ඉහළ මට්ටමක පවතින බව දකින්නට පුළුවන්.ඖෂධීය ගුණය අතින් ගත්තද වෙනත් පලතුරුවලට වඩා වැඩියෙන් ඖෂධීය ගුණාංග අඩංගුව තිබෙනවා. පහසුවෙන් දිරවන ආහාරයක් වීම, එය ආහාරයට ගැනීම මගින් වෙනත් ආහාර වර්ග පවා දිරවීමට උපකාර වීම, වැඩෙන ළමයින්ට හා රෝගීන්ට ශක්තිය ලබා දෙන ආහාරයක් වීම වැනි කරුණු නිසා පැපොල් පලතුරට ජනතාව ඉතාමත්ම ප්‍රියතාවක් දක්වනවා.ඉදුණු පැපොල් දෛනිකව ආහාරය සඳහා යොදා ගැනීමෙන් මළ බද්ධය දුරු කර ගන්න පුළුවන්. අර්ශස් රෝගය සමනය සඳහා ඉදුණු පැපොල් පමණක් නොව, පැපොල් ඇට පවා යොදා ගන්නවා. සමහර සමේ රෝග සඳහාත්, සමේ කැළැල් ඉවත් කිරීමට, උගුරේ ආබාධ සමනය සඳහා අමු පැපොල් යුෂ භාවිත කෙරෙනවා. වට පණුවන් සම්බන්ධ ප්‍රතිකාරවලදි අමු පැපොල් ගෙඩි ඇට හා කොළ යොදා ගන්නවා. ප්ලීහාව ඉදිමුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඉදුණු පැපොල්වලට විශේෂ ස්ථානයක් ලැබෙනවා. පැපොල්වලට විශේෂත්වයක් විදිහට ගෙඩිය ක්‍රමයෙන් ඉදෙන විට එහි අඩංගු විටමින් සී ප්‍රමාණයේ වර්ධනයක් සිදුවීම හඳුන්වා දෙන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ වැඩිපුර වවන ගස්ලබු වර්ග ලෙස ‘රත්න’ නමැති දෙපාර්තමේන්තු නිර්දේශිත වර්ගයත්. ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නැමැති ආනයනික වර්ගත්, හැඳින්විය හැකියි. පැපොල්වලට ආවේණික ගන්ධය ‘රත්න’ පැපොල් වර්ගය නැහැ.පොත්ත ඝනකම් නිසා ප්‍රවාහනයට පහසුයි. ආකර්ෂණීය වර්ණයක් සහ හැඩයක් තිබෙනවා. ‘රත්න’ වර්ගයේ පැපොල් ගෙඩියක් සාමාන්‍යයෙන් 700g – 1kg දක්වා වූ බරකින් යුක්තයි. හොඳ නිෂ්පාදන දරන රත්න වර්ගයේ ගසක් ගත්තොත් හැම පැපොල් පිත්තකම ගෙඩි හැදෙනවා. ඒවායේ අතර මැද කළාප පිහිටන්නේ නෑ.එහෙත් මේ වන විට ස්ව පරාගනය කරගෙන යාම හේතුවෙන් ‘රත්න’ ප්‍රභේදයේ අහිතකර ලක්ෂණ මතු වෙමින් පවතිනවා. මේ නිසා පෙර තිබූ තත්ත්වයටම මේ ප්‍රභේදය ලක් කිරීම සඳහා ගන්නෝරුව ආයතනය මගින් එම ප්‍රභේදය පිරිසුදු කිරීමකට ලක් කරමින් සිටින්නෙ.ශ්‍රී ලංකාවේ වැඩිපුර වගා කෙරෙන පැපොල් වර්ග වන ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නමැති වර්ග දෙකම ආනයනය කරන බීජ මගින් වගා කෙරෙනවා. මේවායින් එක් බීජයක් සඳහා රු. 20ක් වැනි අධික මිලයක් වැය වෙනවා. විශාල ගෙඩි බිහි වීම, හොඳ අස්වැන්නක් ලැබීම, ගුණාත්මක බවින් වැඩි වීම ආදී ගුණාංගවලින් යුක්තයි. මේ ප්‍රභේද දිගින් දිගටම වගා කිරීම නිසා දේශීය ජාන සම්පත් අපේ රටින් ක්‍රමයෙන් තුරන් වීගෙන එනවා. මේ තත්ත්වය නිසා අප පවත්නා දේශීය පැපොල් වර්ග මගින් දෙමුහුම් හෝ නුමුහුම් ප්‍රභේ්ද නිපදවමින් සිටින්නෙ.මීට අමතරව අපේ ආයතනය මගින් දේශීය ප්‍ර‍්‍රභේද යොදාගෙන දෙමුහුම් වර්ග සකසමින් සිටිනවා. පහතට රට තෙත් කලාපයේ වැවෙන හොඳ ගුණාත්මක ප්‍රභේද ගොවීන්ගෙන් ලබාගෙන ඉන් වඩාත් ම හොඳ ප්‍රභේද ඇගැයීමකට ලක්කර, නුමුහුම් ප්‍රභේද නිෂ්පාදනය කළා. මේ දේ කරනු ලැබුවේ පරම්පරා ගණනක් ස්ව පරාගනය කරලයි. ප්‍රභේදයක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් වසර හතරක් පහක් පමණ ගත වෙනවා.මේ ආකාරයට අප ආයතනය මගින් රතු හා කහ වර්ග ලෙස නුමුහුම් ප්‍රභේද දෙකක් නිෂ්පාදනය කළා. ඒ ආශ්‍රයෙන් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ කාර්ය සඳහා මේ වන විට අප එක්ව සිටිනවා. ඉදිරියේ දී වාණිජ වගාවන් සඳහා උසස් ගුණාත්මක බවින් යුතු ප්‍රභේදයක් නිර්මාණය කිරීම අප ආයතනයේ බලාපොරොත්තුවක්.අප සැකසූ කහ සහ රතු පැපොල් ප්‍රභේද වෛරස් රෝගයට තරමක ප්‍රතිරෝධතාවක් දක්වනවා. මේ වන විට අප ආයතනය මගින්, රත්න හා අප හඳුන්වා දුන් නුමුහුම් ප්‍රභේද දෙක ඇසුරින් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.ප්‍රධාන වශයෙන් වසරේ මාර්තු සහ අපේ‍්‍රල් යන මාස පැපොල් වාරය ලෙස සැලකෙනවා. ඒ කාලයේ දී පැපොල් පලදාව නෙළා ගත හැකියි. දෙමුහුම් පැපොල් ප්‍රභේද සඳහා සාමාන්‍ය පැපොල් වර්ගවලට වඩා තෙල්, පොහොර යෙදීම වැඩියෙන් සිදු වනවා. එහෙත් එසේ වැය වන මුදලට වඩා පලදාව මගින් වැඩි ආදායමක් ලබාගත හැකි වීම මෙහි විශේෂත්වයක්. මේ නිසා දෙමුහුම් වර්ග සිටුවීම මගින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව පැපොල් අනුභවයට මෙන්ම, වගාව කෙරෙහිත් වැඩි අවධානයක් දක්වනවා. එහෙත් වෙන වසරවල මේ කාලය වන විට පැපොල් පලදාව වැඩි වුවත් , මෙවර ඒ තත්ත්වය වෙනසකට ලක්ව ඇති බව දකින්නට පුළුවන්. පිටි මකුණාගේ ආක්‍රමණය නිසා පලදාව අඩුව ඇතැයි සිතිය හැකියි.පිටි මකුණා නිසා පැපොල් වගාව මෙරටින් තුරන් වීමේ අවදානමක් තිබූවත්, විලෝ්පිත කෘමියා භාවිතය සහ වෙනත් රසායනික ක්‍රම භාවිතයෙන් මේ තත්ත්වය පාලනයට හැකියාව ලැබුණා. මේ වන විට අහිමිව ගිය පැපොල් වගාවන් වෙනුවට අලුතෙන් වගාවන් ආරම්භ කිරීමට ගොවීන් පෙලඹී සිටිනවා.කෙසේ වෙතත් පිටි මකුණාට අමතරව පැපොල් වගාව කෙරෙහි බලපෑම් කළ හැකි අනෙක් රෝගය විදිහට පැපොල් මුතු පුල්ලි වෛරස් රෝගය හඳුන්වන්න පුළුවන්. පැපොල් වගාවට වැළඳෙන අනෙක් රෝග, වගාව විනාශ කිරීමට තරම් හානිකර වන්නේ නැහැ. පැපොල් වගාව සාර්ථකව කළ හැකි ප්‍රදේශ ලෙස තෙත් හා වියළි කලාපයත්, පහත රට අතර මැදි කලාපයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ දක්වා වූ මැදරට ප්‍රදේශයත් හඳුන්වන්න පුළුවන්. පිණි මිදෙන ආකාරයේ අඩු උෂ්ණත්වයක් පැපොල් වගාවට උචිත වන්නේ නැහැ.ඒ මගින් පැහැදිලි වන්නේ මේ බෝගය වැඩීම සඳහා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වන බවයි. 28 – 35 ඛ් පරිසර උෂ්ණත්වයක් පැපොල් වගාව සඳහා යෝග්‍ය වෙනවා. උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන පැපොල් ගෙඩියේ රසයෙහි වෙනසක් තිබෙන්න පුළුවන්. බොහෝ දුරට එම ප්‍රදේශවල වැඩුණු ඉදුණු ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තයි.පැපොල් වගාව සඳහා ජලය හොඳින් වහනය වන , කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම වැඳගත්. පසෙහි පවත්නා ස්වභාවික සාරවත් බව අඩු වූවද, කාබනික සහ අකාබනික පොහොර අවශ්‍ය පරිදි භාවිත කර ජලය යෙදිය හැකි නම්, සාරවත් නැති පසක වුවත් පැපොල් වගා කළ හැකියි. එහෙත් ජලය යෙදීමේදී ගසේ පාදය අවට දිගු කාලයක් රඳා නොපවතින පරිදි එය කළ යුතුයි. ඊට හේතුව වන්නේ මුල් අතර ජලය ඕනෑවට වඩා රඳා පැවැතීම නිසා, මුල් කුණු වී විනාශ විය හැකි නිසා ය.ඒ නිසා පොළොව මතුපිට සිට සෙ. මී. 90 – 120 පමණ ගැඹුරකින් භූ ජල මට්ටම පැවැතීම බෝගයේ යහපතට හේතු වෙනවා. පැපොල් ගසේ වර්ධනයට උචිත පාංශු පී. එච් පරාසය 5.5- 6.5 පමණ අගයක් ගන්නවා. දුර්වල කඳක් පැවැතීම නිසාත්, ශාකයේ වර්ධනයට මෙන් ම පල හට ගැනීම සාර්ථක වීම සඳහාත් පැපොල් වගාව තද සුළගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා.ගස්ලබු ශාකය අධික වශයෙන් පර පරාගනය සිදු වන ශාකයන් නිසා, සාමාන්‍ය තත්ත්වය යටතේ යම් ප්‍රභේදයකට ආවේණික ගුණාංග බොහොමයක් පරම්පරා කිහිපයකදී නැති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉක්මනින් පල හට ගැනීම, ගෙඩිවල උසස් ගුණාත්මක ලක්ෂණ සහිත ගස්වලින් බීජ ලබාගෙන වගා කිරිම සුදුසු වෙනවා.පැපොල් වගා කිරීම සඳහා අවශ්‍ය වන පැළ, ආකාර කිහිපයක් යටතේ සකසා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් වැඩි වශයෙන් භාවිත කරන්නේ බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පැළ මගිනුයි. ඒ සඳහා අවශ්‍ය බීජ සපයා ගත යුත්තේ උසස් ගති ලක්ෂණ සහිත මවු ශාකයක් මාර්ගයෙනුයි.එවන් වූ මවු ශාකයකින් වැඩි පලදාවක් ලැබීම, පලදාවේ උසස් ගුණාත්මක බව, පැළ සිටුවා කෙටි කාලයකදී ගෙඩි හට ගැනීම, කඳේ ඒකාකාරී ලෙස ගෙඩි හට ගැනීම, මධ්‍යස්ථ දිගකින් යුතු නටුවක් පැවැතීම, මධ්‍යස්ථ උසක් පැවැතීම, මනා වර්ධනයක් සහිත වීම, ශක්තිමත් ශාකයක් වීම, එක නටුවකින් ගෙඩි දෙක බැගින් හට ගැනීම, මුල්වලට වැළඳෙන රෝග හා වෛරස් රෝගවලින්, වෙනත් පළිබෝධ හානි අවම වීම ආදී ලක්ෂණ අපේක්ෂා කරනවා.

Thursday, March 12, 2015

ක්ෂය රෝගය යනු කුමක්ද ?

  


ක්ෂය රෝගය යනු කුමක්ද ?
ක්ෂය රෝගය යනු Mycobacterium tuberculosis නමැති බැසිලසය මගින් ඇතිවන රෝගයකි. ඒ හැරුණූ විට මයිකොබැක්ටීරියම් කාණ්ඩයට අයත් අනෙකුත් බැක්ටීරියාවන් නිසාද ක්ෂය රෝගය ඇති වීමට හැකියාව තිබේ.
බොහෝ අවස්ථාවලදී ක්ෂය රෝගය නිසා ආසාදනයට ලක් වන්නේ පෙණහළුය(Pulmonary TB) ක්ෂය රෝගය ශරීරයේ අනෙකුත් කොටස් වලටද බලපෑම් ඇති කළ හැක. (Extra pulmonary TB)
තව කෙනෙකුට ක්ෂය රෝගය වැළඳෙන හැටි
ක්ෂය රෝගය නිසා පෙණහළු ආසාදනයට ලක්වූ ප‍්‍රතිකාර නොලබන කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට මේ රෝගය බෝ විය හැකි වන්නේය.
රෝගියා කහින, කිවිසින හා සිනාසෙන විට බැසිලය අඩංගු ජීවාණූ වාතයට බිඳිති වශයෙන් එකතු වන්නේය. නිරෝගී පුද්ගලයෙකු මේ බිඳිති ආඝ‍්‍රාණය කිරීමෙන් ක්ෂය රෝගයකු වීමට ඉඩක් ඇත්තේය.
සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර නොලබන රෝගියෙකු වසරක කාලයක් තුළ නිරෝගී පුද්ගලයන් 10-15 කට රෝගය බෝ කරයි. මේ හැරුණූ විට Extra pulmonary TB  තත්ත්වයේදී අන් අයට රෝගය බෝ කිරීමේ හැකියාව අඩුය.
ක්ෂය රෝගය බෝ වන්නේ කාටද ?
බැසිලස අඩංගු බීජාණු ශරීරගත වූවක් හැමෝටම රෝගය බෝ වන්නේ නැත. ජීවිත කාලය තුළ රෝගය බෝවන්නේ ජනගහනයෙන් සියයට 10 කට පමණි. බෝවීමේ අවදානම බහුලව ඇත්තේ පහත අයටය.
  • රෝගීන් හා සමීපයේ සිටින අය
  • දරුවන්
  • වැඩිහිටියන්
  • දියවැඩියා රෝගීන්
  • ස්ටෙරොයිඩ ඖෂධ ගන්නා අය
  • කීමොතෙරපි ආදී ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය
  • දුර්වල කරන ඖෂධ ගන්නා අය
  • එ්ඞ්ස් රෝගීන්
  • මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන්
  • පෝෂණය අඩු අය
  • ප‍්‍රමාණවත් ආලෝකය, වාතාඝ‍්‍රය නොමැති ජනාකීර්ණ ප‍්‍රදේශ වල වෙසෙන අය
ක්ෂය රෝගය – රෝග ලක්ෂණ
  • සති දෙකකට වැඩි කාලයක් පවත්නා කැස්ස
  • ඒ සමග ලේ පිටවීම, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ කැක්කුම
  • රාත‍්‍රී කාලයේදී දහඩිය දැමීම
  • උණ ගැනීම
  • ආහාර අරුචිය
  • විඩාව සහ බර අඩු වීම
අවශේෂ ස්ථාන වල ඇතිවන ක්ෂය රෝගයේදී (Extra pulmonary TB ) ඒ ස්ථානය අනූව ඇතිවන සංකූලතා වෙනස් විය හැක. රාත‍්‍රී කාලයේදී දහඩිය දැමීම, උණ ගැනීම, ආහාර අරුචිය පොදු රෝග ලක්ෂණ වන්නේය.
රෝගය හඳුනා ගැනීම
සෙම පටල පරීක්ෂාවක් මගින් මූලිකව සිදු කෙරේ. ඒ හැරුණූ විට සෙම පටල රෝපන පරීක්ෂණය මෙන්ම පපුවේ එක්ස් කිරණ පරීක්ෂණයද සහාය කරගැනේ.
ක්ෂය රෝගය සුව කරගත හැකිද? නිසැකයෙන්ම පුළුවන. ඒ සඳහා ඔබ කළ යුත්තේ මාස හයක් නොකඩවා, නොවරදවා, මග නොහැර දෙනු ලබන බෙහෙත් ඒ පිළිවෙලටම ගැනීමයි. එයින් ඔබට නිට්ටාවටම ක්ෂය රෝගය සුව කරගත හැකිය.
නියමිත පරිදි දෙන ලද ප‍්‍රතිකාරය නොගතහොත් වන්නේ කුමක්ද?
එවිට ක්ෂය රෝග බැසිලය දෙනු ලබන බෙහෙත් වලට ප‍්‍රතිඵළ ලබා දෙනු ඇත. රෝගය වඩා බැ?රම් අඩියකට පත් වේ . එය Multi Drug resistant TB (MDRTB) ලෙස හැඳින්වෙන අවස්ථාවයි. එම ඖෂධ වඩා උසස් ඖෂධ වැඩි කාලයක් දීමට සිදු වෙයි. වැය වන මුදලද අධිකය.
ක්ෂය රෝගය සඳහා වන ඩොට් ප‍්‍රතිකාරය Directly Observed Treatment (DOT) යනු කුමක්ද ?
ක්ෂය රෝගය කළමණාකරණයෙහිලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙහිද නිර්දේශය ලැබූ ඵළදායී ප‍්‍රතිකාරය මේ DOT  ප‍්‍රතිකාරයයි.
මෙහිදී රෝගියා බෙහෙත් පෙති ලබාගත යුත්තේ පුහුණූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉදිරිපිටදීය. රෝගියා නියම ඖෂධය නියමිත මාත‍්‍රාවෙන් හා නියමිත කාල අන්තරයේදී ලබාගැනීම මෙමගින් තහවුරු වන්නේය.
ක්ෂය රෝගය ප‍්‍රතිකාරවලියේ මුල් සති කිහිපයේදීම රෝග ලක්ෂණ බොහෝ විට අඩුවේ. මෙහිදී ලද ප‍්‍රතිඵළයෙන් සෑහීමට පත්ව රෝගියා ඉතිරි කාලයේ බෙහෙත් ගැනීම අත හැරියොත් හෝ ඕනෑවට එපාවට ඉන්පසු බෙහෙත් ගත්තොත් මීට පෙර කීවාක් මෙන් ඇතිවන්නේ භයානක තත්ත්වයකි. මෙහිදී පහසුවෙන් කඩාගත නොහැකි රෝග තත්ත්වයකට රෝගය පරිවර්තනය වන අතර ඉන්පසු රෝගයෙන් මිදීමට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය සේවකයෙකු සාක්ෂි කරගත් ඖෂධ ගැනීමක් (DOT ) ක්ෂය රෝගයට හඳුන්වා ඇත්තේ ඒ වෙනුවෙනි.
ක්ෂය රෝගය සැළකිල්ල ඉල්ලා සිටින රෝගයක්
  • ක්ෂය රෝගය දුගීභාවය හා සෘජු සබඳතා පවත්වන රෝ්ගයකි.
  • ලෝකයෙන් තුනෙන් පංගුවක් ක්ෂය රෝගය ආසාදිතයන් වේ.
  • 2012 දී නව ක්ෂය රෝගීන් මිලියන 8.6ක් වාර්තා විය. වසරකට ලක්ෂ දහයක් ක්ෂය රෝගය නිසා මිය යයි.
ක්ෂය රෝගය – ලංකාවේ තත්ත්වය
  • වර්ෂයකට රෝගීන් 9000-10,000
  • රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන්නේය.
  • 2013 වර්ෂයේදී
  • රෝගීන් 9406 ක් වාර්තා විය.
  • මේ අයගෙන් 4423 කගේ සෙම පටල ආසාදිත විය. මින් අදහස් වනුයේ ඔවුන් අන් අයට රෝගය බෝ කරන කාණ්ඩයේ බවයි.
  • මේ අයගෙන් පහෙන් එකක් කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. ජනාකීර්ණ ප‍්‍රදේශ වලින් බහුලව රෝගීන් වාර්තා විය.

Thursday, March 5, 2015

ජනපති පදවියට සමු දෙන ලොව දුප්පත්ම ජනපති

ජනපති පදවියට සමු දෙන ලොව දුප්පත්ම ජනපති



උරුගුවේ රාජ්‍යයට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර තිබේ.
නමුත් එරට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි.
හිටපු ගරිල්ලා සටන් කරුවකු වන හොසේ මුහිකා ලොව පතල වූයේ පැරණි මෝටර් රථයක් පදවාගෙන ගමන් බිමන් යන, ගොවි පැලක ජීවත් වන, කකුල් තුනේ බලු සුරතලෙකු හිමි, සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන ජනාධිපතිවරයෙකු ලෙසිනි.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන හොසේ මුහිකා රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ පිහිටි කුඩා නිවසේ සිටිමින්.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට උරුගුවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් අවසරයක් නැත.
එහෙයින් ව්‍යවස්ථාවට ගරු කොට ජනාධිපති පදවිය භාර දීමට ඔහු තීරණය කළේය.
මෙහි පළ වන්නේ හොසේ මුහිකා පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසුමකි.
පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්.
අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්.
මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන.
ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා.
රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල. හඬ පටයට සවන් දෙන්න.

පරණ කාර් කට්ට

ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්.
ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා.
මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා.
ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.
ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ.
තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර.
තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්.

කකුල් තුනේ මැනුවෙල්

තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි.
ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
ගොවිපළේ වැඩට යොදා ගන්න ට්‍රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව.

වෙඩි උණ්ඩ හයක්

හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.
තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන.
නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා.
1985 දී රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා.
2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා.
අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ.
ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා.

Sunday, February 15, 2015

උණුසුම වැඩි වැස්ස වැඩි ප‍්‍රදේශවල



උණුසුම වැඩි වැස්ස වැඩි ප‍්‍රදේශවල


බෝංචි වැව්වොත් අස්වැන්න බාල වේවි



ශ‍්‍රීලංකාවේ ජනතාවට පි‍්‍රයතම වූ ආහාරයක් ලෙස බෝංචි හැඳින්විය හැකිය. තෙත් කලාපය බෝංචි වගාවට සුදුසු නැත. එමෙන්ම උෂ්ණත්වය වැඩි තද වර්ෂාව ඇති ප‍්‍රදේශ තුළ ද බෝංචි වගා කිරීම නිසා ඔබට බලාපොරොත්තු වෙන තරම් අස්වැන්නක් ලබා ගැනීම අසීරුවේ.
මනා ජල වහනයක් ඇති ලෝම පස් හා වැලි ලෝම පස් වගාවට සුදුසුය. අඩියක් පමණ ගැඹුරට පස පෙරළා කැට හොඳින් පොඩිකර තිබීම වගාවට ඉතා සුදුසුය.
පඳුරු බෝංචිවල අස්වැන්න දින 45 කින් ද වැල් බෝංචිවල අස්වැන්න දින 60 කින්ද නෙළාගත හැකිය. අස්වැන්න නෙළීමේදී කරල්වලට හානියක් නොවන ලෙස නෙළා ගත යුතුය.
එමෙන්ම පහත කරුණු ගැන ද සැලකිල්ලක් දැක්විය යුතුය. කඩාගත් කරල් මද පවනේ පළමුවෙන් විසුරුවා තැබිය හැකිය. ගොඩ ගසා තැබීම නොකළ යුතුය.

Thursday, February 12, 2015

ඇත්ත වී වගේ පෙනුණාට මේවා වල් වී



ඇත්ත වී වගේ පෙනුණාට මේවා වල් වී



උද්භිද විද්‍යාත්මකව සැලකීමේ දී භෝගවලට ආසන්න සමානතාවයකින් යුත් ශාක එම භෝගයේ වල් දර්ශ ලෙස සලකනු ලැබේ. වී ශාකය සලකා බැලීමේදී ලොව පුරා වල් දර්ශ 20 ක් දක්නට ලැබෙන අතර ශී‍්‍ර ලංකාව තුළ එයින් වල් දර්ශ 5 ක් දක්නට ලැබේ.
ධරසියා නිවාරා. වාර්ෂික ශාකයක් වන මෙය බොහෝ දුරට වගා දර්ශයට සමානය. ජාන සැකැස්ම ද වර්ග දර්ශයට සමාන වේ. වියළි සහ අතරමැදි කලාපවල වැව්, කුඩා ඇළ දොළ සහ කුඹුරු ආසන්නයේ දක්නට ලැබේ. ශාකයේ උස මීටරයක් පමණ වේ.
මේ ප‍්‍රභේදයේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ බීජය දිග නන්ඩුවක් සහිත වීමයි. එම නන්ඩුව පිදුරු පැහැය හෝ රතු පැහැය හෝ රෝස පැහැයක් ගනී. සතුන් මඟින් බීජ ව්‍යාප්ත කරවීමට මේ නන්ඩුව උපකාරි වේ. සංයුක්ත ආකාරයක් දක්නට ලැබෙන කරලේ බීජ එකවර පරිණත නොවේ.
පරිණත වීමත් සමඟ බීජ වෙන්වී පොළොව මත පතිතවීම සිදුවන අතර දීර්ඝ සුප්ත කාලයක් පෙන්නුම් කරයි. මේ වල් දර්ශය සහ වගා දර්ශය අතර ස්වභාවික මුහුවීමක් බොහෝවිට සිදු නොවේ. මේවා කුඹුරු ආශි‍්‍රතව වර්ධනය වුවහොත් මර්දනය කිරීම බොහෝදුරට අපහසුවන අතර මර්දනය කළ හැක්කේ පූර්ණ වල් නාශකයක් යෙදීම මඟින් පමණි.
මේ නිසා කුඹුරු ආශි‍්‍රතව මේ වල් වී විශේෂය දක්නට ලැබේ නම්, ඒ ගැන විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු වේ. මෙම විශේෂය දුඹුරු පැල කීඩෑවාට, තෘණාකාර තුරුවීමට, කොපු අංගමාරයට සහ නියඟයට ඔරොත්තු දීමේ ලක්‍ෂණ පෙන්නුම් කෙරේ.
ධරයිසා රුෆපෝගන්. බහු වාර්ෂික ශාකයක් වන මෙය කරදිය ආශි‍්‍රත පරිසරවල බොහෝවිට දක්නට ලැබේ. භූගත කඳ ෙරෙසෝමය මඟින් ව්‍යාප්තවීම සිදුවන අතර ගැටවලින් අලුත් රිකිලි ඇතිවීම විශේෂ ලක්‍ෂණයක් වේ. වගා දර්ශයට සමාන වන අතර ශාකයේ උස පරිසරය මත වෙනස් වේ. කරල විවෘත ස්වරූපයක් පෙන්වන අතර එකවර පරිණත නොවේ. මේවා මර්දනය කළ හැක්කේ පූර්ණ වල් නාශකයක් යෙදීම මඟින් පමණි.
මේ වල් වී විශේෂය බැක්ටීරියා කොළ අංගමාරයට කොපු අංගමාරයට, ලවණතාවයට සහ ජල ගැල්මට ඔරොත්තු දෙන අතර පුෂ්තිතාවන්හි වැඩි පරාග ප‍්‍රමාණයක් නිෂ්පාදන වේ.
වාර්ෂික ශාකයක් වන මෙය ප‍්‍රාථමික හෝ ද්විතියික වනාන්තර පරිසරයන්හි සහ හුණුගල් ආශි‍්‍රත පරිසරයන්හි දක්නට ලැබේ. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මෙම විශේෂය ගොඩබිමෙහි දක්නට ලැබීමයි. මෙම විශේෂයේ ශාක බැක්ටීරියා ;කාළ අංග මාරයට, කොපු අංගමාරයට, ලවණතාවයට සහ ජල ගැල්මට ඔරොත්තු දෙන අතර පුෂ්පිතාවන්හි වැඩි පරාග ප‍්‍රමාණයක් නිෂ්පාදනය වේ.
ධරසියා ග්රැකියුලාටා ප‍්‍රාථමික හෝ ද්විතික වනාන්තර පරිසරයන්හී සහ හුණුගල් ආශි‍්‍රත පරිසරයන්හි දක්නට ලැබේ. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මෙම විශේෂය ගොඩබිමේ දක්නට ලැබීමයි. කරල විවෘත වන අතර බීජ අඩු සංඛ්‍යාවක් පිහිටා ඇත. බීජය ප‍්‍රමාණයෙන් කුඩා වේ. සම්බා ස්වරූපයක් ගනී. ඉතා කුඩා නන්ඩුවක් සමහර බීජවල පමණක්දැකිය හැකිය. නියඟයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.
ඔරයිසා ඉචීනිගරි විශේෂය දකුණු අපි‍්‍රකාවෙන් බැහැරව දැකිය හැක්කේ ශී‍්‍ර ලංකාවේ පමණි. වාර්ෂික ශාකයක් වන මෙය මධ්‍යස්ථ උසකින් යුක්තය. මීටර 1 ට අඩුය.
වියළි සහ අතර මැදි කලාපවල ද්විතීයික වනාන්තර තුළත් සෙවණ සහිත ස්ථානයන්හිත් දිය පහරවල් ආසන්නයේත් බොහෝවිට දක්නට ලැබේ.
කරල විවෘත වන අතර බීජ එකවර පරිණත වේ. බීජ බොහෝවිට කෙටි ගෝලාකාර (සම්බා ආකාරය) වන අතර සමහරවිට ඉතා කුඩා නන්ඩුවක් දක්නට ලැබේ. මෙම විශේෂය දුඹුරු පැළ කීඩෑවන්ට ඔරොත්තු දීමේ ලක්‍ෂණ පෙන්නුම් කරයි.
ඔරයිසා රපිසොමැස් බහු වාර්ෂික ඒක දේශීය ශාකයක් වන මෙය වියළි සහ අතරමැදි කලාපවල ද්විතියික වනාන්තර තුළත් සෙවණ සහිත ස්ථානවලත් පාරවල් ආසන්නයේත් බොහෝවිට දක්නට ලැබේ. ප‍්‍රචාරණය භූගත කඳ මඟින් හෝ බීජ මඟින් සිදුවිය හැකිය.
මේ සියලුම වල් වී දර්ශකයන් පෙන්වන නොයෙකුත් ප‍්‍රතිරෝධී සහ අනුවර්තී ලක්‍ෂණ නිසා අනාගත අභිජනන කටයුතුවලදී මාතෘ දර්ශයක් ලෙස මේවා ඉතාමත් වැදගත් විය හැකිය. මේ හේතුව නිසා මෙම වල් වී විශේෂයන් සංරක්‍ෂණය කිරීම ජාතියේ අනාගත පරපුර උදෙසා අප මඟින් ඉටුවිය යුතු යුතුකමකි.

Sunday, February 8, 2015

ගම්මිරිස් වගාවට සුළඟ අහිතකරයි



ගම්මිරිස් වගාවට සුළඟ අහිතකරයි



ගම්මිරිස් මල් හටගන්නා කාලය තුළදී ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් තිබීම අත්‍යවශ්‍යවේ. උෂ්ණත්වය අඩු පළාත්වල ගම්මිරිස් හොඳින් වැඩේ. නොකඩවා පවතින තද සුළං ගම්මිරිස් බෝගයට අහිතකරය.
ඓන්ද්‍රිය ද්‍රව්‍ය අඩංගු සාරවත් පසක ගම්මිරිස් හොඳින් වැඩේ. ජලය සැපයීමේ පහසුකම් ඇති නම් මිස දිගු කලක් පවතින ප‍්‍රදේශ මඟ හරවා වගා කළ යුතු ය. සුළං මුවාවේ පිහිටි බෑවුම් ගම්මිරිස් වගාවට යෝග්‍යවේ.
සිටුවීම සඳහා දඬු ලබාගන්නා මවු වැල පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතු ය. මවු වැලේ මේ ලක්ෂණ තිබිය යුතු ය.
හොඳින් මුල් අල්ලාගැනීමට හැකියාව ඇති වැඩෙන වැළක් වීම
පුරුක් අතර දුර අඩුවිය යුතුයි. පාර්ශ්වික ශාක විශාල ප‍්‍රමාණයක් වැඩී තිබිය යුතුය.
සෑම පුරුකකට හෝ පුරුක් වැඩි ගණනක කරල් තිබීම
මවු වැලේ කරලක් සෙ.මී. 15 කට වඩා දිගු වීම
කරල් සම්පූර්ණයෙන් ගෙඩිවලින් පිරී තිබිය යුතු අතර පුහු ගෙඩි නැතිවීම
මවු වැල පළිබෝධ හානි, රෝගවලින් තොරවීම
ඔබේ ගෙවත්ත තුළ තිබෙන ඉඩ ප‍්‍රමාණය මත ගම්මිරිස් වැලක් වවා ගැනීමට අවකාශය සැලසේ. ඔබට පොල් සමඟ මිශ‍්‍ර වගාවක් ලෙස ද තේ සමඟ මිශ‍්‍ර වගාවක් ලෙස ද ගෙවතු වල මිශ‍්‍ර වගාවක් ලෙස ද ගම්මිරිස් වගා කළ හැකි ය.
මේ ඕනෑම ක‍්‍රමයකට ම ගම්මිරිස් වගාකිරීමේ හැකියාව තිබේ. ගෙවත්තක ගම්මිරිස් වගා කිරීමට නම් ඒ සඳහා ආධාරක ක‍්‍රමයක් යොදාගත යුතු ය. නැතිනම් ගම්මිරිස් වැල් මුළු වත්ත පුරාම යෑමෙන් හානි පැමිණේ.
ඔබේ ගෙවත්තේ අඹ, කොස්, පුවක්, කොට්ටම්බා, එරමුදු තිබේ නම්, ග්ලිරිසීඩියා තිබේ නම්, ගම්මිරිස් වැල් යැවීමට යොදා ගත හැකි ය. ගසෙන් ලැබෙන සෙවණ වැඩි නම් අතු කපා දැමීමෙන් හිරු එළිය ලබාගත හැකි ය.
මූලික අතු 3 – 4 සහිතව තිබෙන විට සිලින්ඩරාකාර හැඩයකට ආධාරකය දිගේ වැඩෙමින් ඉදිරියට යෑමට සැලැස්විය යුතු ය. වැල වැඩෙන විට සෑම පුරුකකින් ම ආධාරකයට වැල් බැඳිය යුතු ය. ඔබ ග්ලිරිසීඩියා ආධාරකයක් යොදාගන්නේ නම් උස අතු කප්පාදු කළ යුතු ය.
ඉක්මනට අස්වැන්න ලබාගැනීම ඔබ වඩාත් උනන්දුවට පත් කරන කාරණාවක් විය හැකි ය. මේ සඳහා ඔබ පොහොර යෙදීම කළ යුතු ය. රසායනික පොහොර වලට වඩා ඔබේ ගෙවත්තේ සාදාගත් කොම්පෝස්ට් පොහොර යෙදීමට ඔබ පෙළඹිය යුතු ය. යල සහ මහ වැසි ආරම්භයේදී පොහොර යෙදීම කළ යුතු ය.
යෙදූ පොහොර වල් පැළෑටි වලට උරාගතහොත් සිදුවන්නේ මහ විනාශයකි. එම නිසා නිරන්තර වල් මර්දන කි‍්‍රයාවලියක ඔබ නිරත විය යුතු ය. වැල් පැළ උඳුරා කොළ රොඩු තට්ටුවක් සේ වැල මුලට එකතු කළ යුතු ය. වැසි කාල දෙක අවසානය ළං වන විට පැළය අවට තෙතමනය වැඩිවීමට එකතු කළ වැල් තට්ටුව උපකාරී වේ.
ලංකාවේ ගම්මිරිස් බෝගයට හානි කරන වැදගත් පළිබෝධ කිසිවක් මෙතෙක් සොයාගෙන නැත. වැල වැඩෙන තැන සමහරවිට පණුවන් විදින බව සොයාගෙන ඇත. පණුවා වැඩෙන දල්ල විඳිමින් පහළට බැසීම හේතුවෙන් ගම්මිරිස් පැළය මැරීමට එය හේතු විය හැකි ය. පණුවන් හැරුණ කොට ගම්මිරිස් කූඩිත්තන්ගෙන් ද වගාවට හානි සිදුවීමට ඉඩ තිබේ.
ගම්මිරිස් කූඩිත්තා පාලනය කිරීමට නම් ආසාධනය වූ පත‍්‍ර කඩා ඉවත් කරන්න. තයෝඩාන් හෝ රොගර් 40 මි.ලී. 25 ජලය ලී. 10 ක යොදා ඉසින්න.
කඳ විදින්නා අතුවල බිත්තර දමයි. පණුවා වැඩෙන දල්ල විදගෙන පහළට බැසීමෙන් පැළය මැරේ. පරණ වැල්වලට මේ කෘමියා එතරම් ප‍්‍රශ්නයක් නොවුණත් ළපටි වැල්වලට විශාල හානියක් කිරීමට කඳ විදින්නාට කළ හැකි ය. පාලනය කිරීම සඳහා ආසාදනය වූ වැල් කපා දැමිය යුතු ය.
ගම්මිරිස් වගාවට වැලදෙන විවිධ රෝග තිබේ. හදිසි මැලවීමේ රෝගය ප‍්‍රධාන වේ. මේ නිසා හදිසියේ ගම්මිරිස් පත‍්‍ර මැරී හැලීමට පටන් ගනියි. ආසාදනය වූ කඳේ පඨක දුඹුරු පැහැය ගැන්වී පැල්ලම් ඇතිවේ. රෝගය සෑදීමෙන් පසු සති දෙකක් තුනක් තුළ වැල මැරී යයි.
හදිසි මැලවීමේ රෝගය
පාලනය කිරීම සඳහා
ක්ෂේත‍්‍රයේ හොඳින් ජලය බැස යාමට සැලැස්වීම
වැසි කාලයේ සෙවණ අඩු කිරීම
වැසි කාලයේදී වැල් වටා ඇති වසුන් ඉවත් කිරීම
වැසි කාලයේදී වැල් වටා ඇති වැල් මර්දනය කිරීම
ආසාධනය වූ අතු සහ මුල් කොටස් ඉවත් කර පුළුස්සා දැමීම
ගම්මිරිස් වැල් වල පත‍්‍ර කුණුවීමේ රෝගය ඇතිවේ. මේ තත්ත්වය තවාන් අවස්ථාවේදී බොහෝ සෙයින් හඳුනාගැනීමට හැකියාව තිබේ. තද තෙතමනය පවතින අවස්ථාවල පත‍්‍රවල පැල්ලම් තිබේ නම් භාගයකට වඩා පත‍්‍ර හැළීමට පටන් ගනියි.
වැඩිපුර සෙවන ඉවත් කරන්න
අනවශ්‍ය ලෙස වැඩිපුර ජලය නොයොදන්න
හොඳින් ජලය බැස යන ලෙස හොඳ පැළ තවාන් මිශ‍්‍රණයක සකස් කර ගන්න.
සෙමෙන් මැලවීම
හේතු රැසක් නිසා මේ රෝගය ඇතිවිය හැකි ය. වියළි කාලවලදී පත‍්‍ර කහ පැහැගැන්වීම, වැසි කාලවලදී සාමාන්‍ය වීමත් දක්නට ලැබේ. පත‍්‍ර කහ පැහැගැන්වීමට හේතු රාශියක බලපායි.
මුල්වලට හානිවීම
මුල් කහ මකුණන්ගේ හානිය
පෝෂණහීනතාව
නියඟය
දිලීර ආසාදනය
දිලීර ආසාදනය ප‍්‍රධාන තැනක් ගන්නා අතර රෝග ව්‍යාප්තියට ද හේතු වේ.


උපදෙස්
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂිකා
ආචාර්ය චිත‍්‍රාංගනි ජයසේකර
හෝමාගම පැළෑටි වෛරස් මධ්‍යස්ථානයේ 
ආචාර්ය මානෙල් දසනායක 
බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරි 
පී.වී. හේමචන්ද්‍ර

Sunday, February 1, 2015

ජම්බු වාරෙන් පසු අතුවල දිරපු කොටස් කපා අයින්



ජම්බු වාරෙන් පසු අතුවල දිරපු කොටස් කපා අයින්

 

කරන්න


රතු ජම්බු සුදු ජම්බු හා පිනි ජම්බු වශයෙන් ජම්බු වර්ග කීපයක් තිබේ. අලුත් පලතුරක් මෙන්ම ජෑම් හා චට්නි නිෂ්පාදනයට ද ජම්බු යුෂ යොදා ගනී.
දියවැඩියාව අතීසාරය, පාචනය රෝග සමනය කිරීමට ජම්බුවලට හැකියැයි කියති. ගෙවතු වගාවට පමණක් නෙවෙයි අපනයනය කිරීමට ද ජම්බු කදිම පලතුරකි. බීජ පැළ බද්ධ පැළ හා අතු බැඳීම මගින් මුල් අද්දවා ගැනීමෙන් පැළ නිපදවා ගත හැකිය.
මනා ජල වහනයක් සහිත කාබනික ද්‍රව්‍ය බහුල පසක් සුදුසු වන අතර හොඳින් හිරු එළිය පතිත ස්ථානයක වලක් කපා පළමුව මතුපිට පස්වලට කාබනික පොහොර කවලම් කර පුරවා සිටුවිය හැකිය.
භූමිය සීමාසහිත වන විට විශාල බඳුන්වලට කාබනික පොහොර දමා කවලම් කරගත යුතුය. වානිජ වගාවකදී නම් පේලි අතර පරතරය තිබීම ඉතාමත් වැදගත්ය.
ගෙවතු වගාවකදී නම් කාබනික පොහොර යෙදීම ප‍්‍රමාණවත් වන අතර රසායනික පොහොර අවශ්‍ය නොවේ. වගාවේ අවස්ථා වලදී අතු කප්පාදු කිරීම සිදු කරයි.
සෑම අස්වනු වාරයකින් පසු ගස් අතු වල දිරා පත් වූ කොටස් හා මැරුණු කොටස් ඉවත් කිරීම කළ යුතුය.
අතු කප්පාදු කිරීමෙන් පසු අතු මුහුණත දිලීර නාශක ආලේප කිරීමට අමතක නොකළ යුතුය.
ජම්බු වියළි කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු නොදේ. ජල සැපයීම නිසි අයුරින් නොකෙරුවොත් අස්වැන්න අඩුවේ.
තෙතමනය සහිත කාලගුණ තත්ත්වයක් ජම්බු ශාකයට හැමවිටම යෝග්‍ය වේ.
බහුලව හමුවෙන රෝග සහ පළිබෝධ හානි බහුලව දැකගත නොහැකි නමුත් පත‍්‍ර කන දළඹුවන්ගෙන් කුඩා කාලයේදී පැළයට හානි වේ. අස්වැන්න වැඩි කාලයට පලතුරු මැස්සන් ගෙන් පලදාවට හානි සිදුවේ.
පැළ සිටුවා වසර පහකින් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. ඉදුණු ගෙඩි ඉක්මනින් නෙළා ගැනීමෙන් පලතුරු මැස්සා බෝවීම වළක්වා ගත හැකිය.