Sunday, March 22, 2015

අපේ පැපොල් වගාවට මොකද වුණේ...

  

අපේ පැපොල් වගාවට මොකද වුණේ....පෝෂ්‍ය ගුණයෙන් බොහෝ දුරට දොඩම්වලට සමාන පලතුරක් ලෙස ‘පැපොල්’ (ගස්ලබු) හැඳින්විය හැකිය. බීම, ජෑම් සැකසීම, පලතුරු සලාද, ආහාර වර්ග සුවඳ කිරීම සඳහා පලතුරක් ලෙස ඉදුන පැපොල් භාවිතයට ගනු ලබයි. අමු පැපොල් ගෙඩි මඟින් ව්‍යාංජන සහ අච්චාරු සැකසීම ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ප්‍රකටව ඇත. වර්තමානය වන විට පෙර කාලවලට වඩා වෙළෙඳ පොළෙහි ගස්ලබු මිල ගණන් ඉහළ ගොස් තිබේ.එසේ ම ඉල්ලුම වැඩි නිසා පැපොල් වගාවට වගා කරුවන් වැඩි පෙලඹීමක් දක්වයි. මේ පිළිබඳ හොරණ, කනන්විල, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අභිජනන අංශයේ පර්යේෂණ නිලධාරිනී ඉන්ද්‍රානි කළුබෝවිල මහත්මිය සමඟ කළ කතාබහකි මේ.වසර පුරා ම පල හට ගන්නා පලතුරු වර්ගයක් විදිහට පැපොල් පලතුර හඳුන්වන්න පුළුවන්. අමෙරිකා මහාද්වීපයේ නිවර්තන ප්‍රදේශවල සම්භවය වුවත්, බොහෝ කාලයක සිට ලෝකයේ සියලුම නිවර්තන රටවල වගා කරනවා. මෙය කැරිකෙසි ශාක කුලයට අයත් වූවක්.ශ්‍රී ලාංකිකයකු සාමාන්‍යයෙන් වසරකදී ආහාරයට ගනු ලබන පැපොල් ප්‍රමාණය ග්‍රෑම් 200ක් පමණ වෙනවා. ඒ අනුව මෙය දෙවැනි වන්නේ කෙසෙල්වලට පමණයි. බොහෝ අය පරිභෝජනයට ප්‍රිය පලතුරක් වුවත්, ඉල්ලුම සරිලන සැපැයුමක් තවමත් අපට සකසාගත නොහැකිව පවතිනවා. අපනයනය කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකි වුවත්, තවමත් අපට ඒ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වීමට නොහැකි වෙලා.ගම්පහ, අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, නුවර වැනි ප්‍රදේශවල පැපොල් වගාව කරගෙන යනවා. මේ ශාකය වියළි කලාපය තුළ වානිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට විභවයක් තිබෙනවා. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැපොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 6000ක් පමණ වුණා. එම වසර වන විට සාමාන්‍ය නිෂ්පාදනය 38361000ක් වූවා. 1990 දසකය හා සංසන්දනය කිරීමේ දී 2000 දසකයේ දී නිෂ්පාදනයේ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒ වගේම පැපොල් සඳහා ඇති ඉල්ලුමෙහිද ක්‍රමික වර්ධනයක් බිය හැකියි.කෙසේ වෙතත්, පහසුවෙන් වගා කළ හැකි වීම, ඉක්මනින් ආදායම් ලබාගත හැකි වීම, විවිධ පාංශු සහ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව, ආදී කරුණු නිසා මේ බෝගය වගා කිරීම සඳහා ජනතා උද්‍යෝගය ඉහළ මට්ටමක පවතින බව දකින්නට පුළුවන්.ඖෂධීය ගුණය අතින් ගත්තද වෙනත් පලතුරුවලට වඩා වැඩියෙන් ඖෂධීය ගුණාංග අඩංගුව තිබෙනවා. පහසුවෙන් දිරවන ආහාරයක් වීම, එය ආහාරයට ගැනීම මගින් වෙනත් ආහාර වර්ග පවා දිරවීමට උපකාර වීම, වැඩෙන ළමයින්ට හා රෝගීන්ට ශක්තිය ලබා දෙන ආහාරයක් වීම වැනි කරුණු නිසා පැපොල් පලතුරට ජනතාව ඉතාමත්ම ප්‍රියතාවක් දක්වනවා.ඉදුණු පැපොල් දෛනිකව ආහාරය සඳහා යොදා ගැනීමෙන් මළ බද්ධය දුරු කර ගන්න පුළුවන්. අර්ශස් රෝගය සමනය සඳහා ඉදුණු පැපොල් පමණක් නොව, පැපොල් ඇට පවා යොදා ගන්නවා. සමහර සමේ රෝග සඳහාත්, සමේ කැළැල් ඉවත් කිරීමට, උගුරේ ආබාධ සමනය සඳහා අමු පැපොල් යුෂ භාවිත කෙරෙනවා. වට පණුවන් සම්බන්ධ ප්‍රතිකාරවලදි අමු පැපොල් ගෙඩි ඇට හා කොළ යොදා ගන්නවා. ප්ලීහාව ඉදිමුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඉදුණු පැපොල්වලට විශේෂ ස්ථානයක් ලැබෙනවා. පැපොල්වලට විශේෂත්වයක් විදිහට ගෙඩිය ක්‍රමයෙන් ඉදෙන විට එහි අඩංගු විටමින් සී ප්‍රමාණයේ වර්ධනයක් සිදුවීම හඳුන්වා දෙන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ වැඩිපුර වවන ගස්ලබු වර්ග ලෙස ‘රත්න’ නමැති දෙපාර්තමේන්තු නිර්දේශිත වර්ගයත්. ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නැමැති ආනයනික වර්ගත්, හැඳින්විය හැකියි. පැපොල්වලට ආවේණික ගන්ධය ‘රත්න’ පැපොල් වර්ගය නැහැ.පොත්ත ඝනකම් නිසා ප්‍රවාහනයට පහසුයි. ආකර්ෂණීය වර්ණයක් සහ හැඩයක් තිබෙනවා. ‘රත්න’ වර්ගයේ පැපොල් ගෙඩියක් සාමාන්‍යයෙන් 700g – 1kg දක්වා වූ බරකින් යුක්තයි. හොඳ නිෂ්පාදන දරන රත්න වර්ගයේ ගසක් ගත්තොත් හැම පැපොල් පිත්තකම ගෙඩි හැදෙනවා. ඒවායේ අතර මැද කළාප පිහිටන්නේ නෑ.එහෙත් මේ වන විට ස්ව පරාගනය කරගෙන යාම හේතුවෙන් ‘රත්න’ ප්‍රභේදයේ අහිතකර ලක්ෂණ මතු වෙමින් පවතිනවා. මේ නිසා පෙර තිබූ තත්ත්වයටම මේ ප්‍රභේදය ලක් කිරීම සඳහා ගන්නෝරුව ආයතනය මගින් එම ප්‍රභේදය පිරිසුදු කිරීමකට ලක් කරමින් සිටින්නෙ.ශ්‍රී ලංකාවේ වැඩිපුර වගා කෙරෙන පැපොල් වර්ග වන ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නමැති වර්ග දෙකම ආනයනය කරන බීජ මගින් වගා කෙරෙනවා. මේවායින් එක් බීජයක් සඳහා රු. 20ක් වැනි අධික මිලයක් වැය වෙනවා. විශාල ගෙඩි බිහි වීම, හොඳ අස්වැන්නක් ලැබීම, ගුණාත්මක බවින් වැඩි වීම ආදී ගුණාංගවලින් යුක්තයි. මේ ප්‍රභේද දිගින් දිගටම වගා කිරීම නිසා දේශීය ජාන සම්පත් අපේ රටින් ක්‍රමයෙන් තුරන් වීගෙන එනවා. මේ තත්ත්වය නිසා අප පවත්නා දේශීය පැපොල් වර්ග මගින් දෙමුහුම් හෝ නුමුහුම් ප්‍රභේ්ද නිපදවමින් සිටින්නෙ.මීට අමතරව අපේ ආයතනය මගින් දේශීය ප්‍ර‍්‍රභේද යොදාගෙන දෙමුහුම් වර්ග සකසමින් සිටිනවා. පහතට රට තෙත් කලාපයේ වැවෙන හොඳ ගුණාත්මක ප්‍රභේද ගොවීන්ගෙන් ලබාගෙන ඉන් වඩාත් ම හොඳ ප්‍රභේද ඇගැයීමකට ලක්කර, නුමුහුම් ප්‍රභේද නිෂ්පාදනය කළා. මේ දේ කරනු ලැබුවේ පරම්පරා ගණනක් ස්ව පරාගනය කරලයි. ප්‍රභේදයක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් වසර හතරක් පහක් පමණ ගත වෙනවා.මේ ආකාරයට අප ආයතනය මගින් රතු හා කහ වර්ග ලෙස නුමුහුම් ප්‍රභේද දෙකක් නිෂ්පාදනය කළා. ඒ ආශ්‍රයෙන් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ කාර්ය සඳහා මේ වන විට අප එක්ව සිටිනවා. ඉදිරියේ දී වාණිජ වගාවන් සඳහා උසස් ගුණාත්මක බවින් යුතු ප්‍රභේදයක් නිර්මාණය කිරීම අප ආයතනයේ බලාපොරොත්තුවක්.අප සැකසූ කහ සහ රතු පැපොල් ප්‍රභේද වෛරස් රෝගයට තරමක ප්‍රතිරෝධතාවක් දක්වනවා. මේ වන විට අප ආයතනය මගින්, රත්න හා අප හඳුන්වා දුන් නුමුහුම් ප්‍රභේද දෙක ඇසුරින් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.ප්‍රධාන වශයෙන් වසරේ මාර්තු සහ අපේ‍්‍රල් යන මාස පැපොල් වාරය ලෙස සැලකෙනවා. ඒ කාලයේ දී පැපොල් පලදාව නෙළා ගත හැකියි. දෙමුහුම් පැපොල් ප්‍රභේද සඳහා සාමාන්‍ය පැපොල් වර්ගවලට වඩා තෙල්, පොහොර යෙදීම වැඩියෙන් සිදු වනවා. එහෙත් එසේ වැය වන මුදලට වඩා පලදාව මගින් වැඩි ආදායමක් ලබාගත හැකි වීම මෙහි විශේෂත්වයක්. මේ නිසා දෙමුහුම් වර්ග සිටුවීම මගින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව පැපොල් අනුභවයට මෙන්ම, වගාව කෙරෙහිත් වැඩි අවධානයක් දක්වනවා. එහෙත් වෙන වසරවල මේ කාලය වන විට පැපොල් පලදාව වැඩි වුවත් , මෙවර ඒ තත්ත්වය වෙනසකට ලක්ව ඇති බව දකින්නට පුළුවන්. පිටි මකුණාගේ ආක්‍රමණය නිසා පලදාව අඩුව ඇතැයි සිතිය හැකියි.පිටි මකුණා නිසා පැපොල් වගාව මෙරටින් තුරන් වීමේ අවදානමක් තිබූවත්, විලෝ්පිත කෘමියා භාවිතය සහ වෙනත් රසායනික ක්‍රම භාවිතයෙන් මේ තත්ත්වය පාලනයට හැකියාව ලැබුණා. මේ වන විට අහිමිව ගිය පැපොල් වගාවන් වෙනුවට අලුතෙන් වගාවන් ආරම්භ කිරීමට ගොවීන් පෙලඹී සිටිනවා.කෙසේ වෙතත් පිටි මකුණාට අමතරව පැපොල් වගාව කෙරෙහි බලපෑම් කළ හැකි අනෙක් රෝගය විදිහට පැපොල් මුතු පුල්ලි වෛරස් රෝගය හඳුන්වන්න පුළුවන්. පැපොල් වගාවට වැළඳෙන අනෙක් රෝග, වගාව විනාශ කිරීමට තරම් හානිකර වන්නේ නැහැ. පැපොල් වගාව සාර්ථකව කළ හැකි ප්‍රදේශ ලෙස තෙත් හා වියළි කලාපයත්, පහත රට අතර මැදි කලාපයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ දක්වා වූ මැදරට ප්‍රදේශයත් හඳුන්වන්න පුළුවන්. පිණි මිදෙන ආකාරයේ අඩු උෂ්ණත්වයක් පැපොල් වගාවට උචිත වන්නේ නැහැ.ඒ මගින් පැහැදිලි වන්නේ මේ බෝගය වැඩීම සඳහා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වන බවයි. 28 – 35 ඛ් පරිසර උෂ්ණත්වයක් පැපොල් වගාව සඳහා යෝග්‍ය වෙනවා. උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන පැපොල් ගෙඩියේ රසයෙහි වෙනසක් තිබෙන්න පුළුවන්. බොහෝ දුරට එම ප්‍රදේශවල වැඩුණු ඉදුණු ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තයි.පැපොල් වගාව සඳහා ජලය හොඳින් වහනය වන , කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම වැඳගත්. පසෙහි පවත්නා ස්වභාවික සාරවත් බව අඩු වූවද, කාබනික සහ අකාබනික පොහොර අවශ්‍ය පරිදි භාවිත කර ජලය යෙදිය හැකි නම්, සාරවත් නැති පසක වුවත් පැපොල් වගා කළ හැකියි. එහෙත් ජලය යෙදීමේදී ගසේ පාදය අවට දිගු කාලයක් රඳා නොපවතින පරිදි එය කළ යුතුයි. ඊට හේතුව වන්නේ මුල් අතර ජලය ඕනෑවට වඩා රඳා පැවැතීම නිසා, මුල් කුණු වී විනාශ විය හැකි නිසා ය.ඒ නිසා පොළොව මතුපිට සිට සෙ. මී. 90 – 120 පමණ ගැඹුරකින් භූ ජල මට්ටම පැවැතීම බෝගයේ යහපතට හේතු වෙනවා. පැපොල් ගසේ වර්ධනයට උචිත පාංශු පී. එච් පරාසය 5.5- 6.5 පමණ අගයක් ගන්නවා. දුර්වල කඳක් පැවැතීම නිසාත්, ශාකයේ වර්ධනයට මෙන් ම පල හට ගැනීම සාර්ථක වීම සඳහාත් පැපොල් වගාව තද සුළගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා.ගස්ලබු ශාකය අධික වශයෙන් පර පරාගනය සිදු වන ශාකයන් නිසා, සාමාන්‍ය තත්ත්වය යටතේ යම් ප්‍රභේදයකට ආවේණික ගුණාංග බොහොමයක් පරම්පරා කිහිපයකදී නැති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉක්මනින් පල හට ගැනීම, ගෙඩිවල උසස් ගුණාත්මක ලක්ෂණ සහිත ගස්වලින් බීජ ලබාගෙන වගා කිරිම සුදුසු වෙනවා.පැපොල් වගා කිරීම සඳහා අවශ්‍ය වන පැළ, ආකාර කිහිපයක් යටතේ සකසා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් වැඩි වශයෙන් භාවිත කරන්නේ බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පැළ මගිනුයි. ඒ සඳහා අවශ්‍ය බීජ සපයා ගත යුත්තේ උසස් ගති ලක්ෂණ සහිත මවු ශාකයක් මාර්ගයෙනුයි.එවන් වූ මවු ශාකයකින් වැඩි පලදාවක් ලැබීම, පලදාවේ උසස් ගුණාත්මක බව, පැළ සිටුවා කෙටි කාලයකදී ගෙඩි හට ගැනීම, කඳේ ඒකාකාරී ලෙස ගෙඩි හට ගැනීම, මධ්‍යස්ථ දිගකින් යුතු නටුවක් පැවැතීම, මධ්‍යස්ථ උසක් පැවැතීම, මනා වර්ධනයක් සහිත වීම, ශක්තිමත් ශාකයක් වීම, එක නටුවකින් ගෙඩි දෙක බැගින් හට ගැනීම, මුල්වලට වැළඳෙන රෝග හා වෛරස් රෝගවලින්, වෙනත් පළිබෝධ හානි අවම වීම ආදී ලක්ෂණ අපේක්ෂා කරනවා.

No comments:

Post a Comment